හසරැල්ල කියවූ අය

Friday, June 30, 2017

ඇවැස්ස විවාහය ලාංකික සංස්කෘතිය ට එක් වූ ආකාරය..

     විවාහය යන්නෙන් අදහස් කරන්නේ ස්ත‍්‍රියක හා පුරුෂයෙකු අතර ඇතිවන නීතිමය, සදාචාරාත්මක හා ආත්මීය වූත් සබඳතාවකි. සමහරු විවාහය අර්තගන්වන්නේ එය ස්ත‍්‍රියකට හා පුරුෂයෙකුට නිත්‍යානුකුල ව ලිංගික ව හැසිරීම සඳහා බලපත‍්‍රයක් ලබා දීම ලෙසින් ය.තවත් අයගේ මතය වන්නේ විවාහය යනු අනාගත මිනිස් පරපුර අඛණ්ඩ ව පවත්වාගෙන යාමට විධි විධාන සැලස්වීමක් ලෙස ය.එහෙත් මේ වැනි අර්තගන්විම්වලට වඩා පුළුල් දෙයක් විවාහය තුල ඇත. එ නම් මිනිස් ජිවිතයේ අපුර්ව ම සබඳතාවය ලෙස විවාහය සලකනු ලබන්නේ දෙදෙනාගේ මනස, හෘදයරිආත්මය, සිරුර යන සාම අංශයකින් ම එකිනෙකා සමීපවන බැම්ම විවාහයවන බැවින් ය. යතෝක්තියේ සඳහන්වන පරිදි විවාහය පිලිබඳ ව අර්ථ ගන්වුවහොත් ලාංකික සමාජය තුල විවිධ වූ විවාහ ක‍්‍රමවේදයන් දැකගත හැකි ය. එ නම්,
              
  • දීග විවාහ
  • බින්න විවාහ
  • ඇවැස්ස විවාහ
  • බහු භාර්යා විවාහ
  • එකගෙයි කෑම 

                                  ආදී වශයෙනි.

    ඉහත දැක්වෙන විවාහ චාරිත‍්‍ර ක‍්‍රමවලින් ඇවැස්ස විවාහය යනු ලාංකික ජන සමාජය තුළ ඉතා ජනප‍්‍රිය ව පැවති විවාහ ක‍්‍රමයකි. ඇවැස්ස විවාහය පහත ආකාරයෙන් අර්ථ ගැන්විය හැකි ය.

    සිංහල ජන සමාජයේ ආවාහ විවාහ චාරිත‍්‍ර වාරිත‍්‍ර ප‍්‍රකාර විවාහයට අනුමත වූ එක ම ඥාති භාවය වූයේ ඇවැස්ස ඥාතිත්වය යි. මේ හැරුණු විට වෙනත් කිසිඳු ඥාතිත්ව ය උදෙසා අනුමත නො විණි. ඇවැස්ස ඥාතිභාවය ඉතා ආසන්න ඥාති සම්බන්ධතාවයක් විය. යමෙකුගේ පියාගේ සොහොයුරියගේ දුව හෝ, පුතා හෝ මවගේ සොහොයුරාගේ දුව හෝ, පුතා හෝ ඇවැස්ස නෑනා හෝ ඇවැස්ස මස්සිනා විය.

    ඇවැස්ස තරුණයෙකු හා තරුණියක නිසැකව ම ඔවුනොවුන් හා විවාහ පත්වීම සිංහල ජන සමාජයේ බහුලව ම සිදු වූ විවාහ ක‍්‍රමයක් වී ය. මේ ඥාති සබඳතාව පැහැදිලිව ම පෙනෙන අයුරින් එක්තරා ඥාති සහෝදරත්වයකි.එහෙත් ඥාති සහෝදර යැයි නො යෙදී මීට නෑනා මස්සිනා යනුවෙන් විශේෂ ඥාති නාම යෙදෙනුයේ මෙය විවාහය සඳහා තුඩු දුන් ඥාතිත්වයක් වූ බැවිණි. මේ කී ඇවැස්ස විවාහය සිංහල සමාජයේ හා සිංහල සංස්කෘතියේ කදිම විවාහ විධි ක‍්‍රමයක් ලෙස පෙන්වා දිය හැකි ය.

  ඇවැස්ස යන වදන අවශ්‍ය යන්නෙන් බිඳී ආ බව එකී ශබ්දාර්ථ අනුව පැහැදිලි කරගත හැකි ය. ශබ්දකෝෂවලදී ද  ඇවැස්ස යන්න අවශ්‍ය හෙවත් ඉතා සම්බන්ධ යනුවෙන් විග‍්‍රහකොට ඇත. අවශ්‍ය යන අර්ථයෙහි ලා අවශ්‍ය යන්න ද භාවිතයෙහි තිබූ බව අවශ්‍ය බෑණන් හෙයින්.... වැනිි සද්ධර්ම රත්නාවලියේ එන පාඨ වලින් අනාවරණය වේ. අවශ්‍ය යන්නෙන් බිඳී සැකසුන ද ඇවැස්ස යන්න මෙහි ඥාතිත්වය උදෙසා විනා වෙනත් පිණිස භාවිත වනු කිසි විටෙකත් දක්නට නො හැකි ය. නෑනා හැඳින්වීම සඳහා ඇවස්සි යන පදය ද භාවිත වේ. ඒ බැවින් මේ වදන මෙකී ඥාතිත්වය හා කෙතරම් බැඳී පවතින්නේ ද යන්න පැහැදිලි කරගත හැකි ය.

   සමාජ හා මානව විද්‍යාඥයන් විසින් විග‍්‍රහ කරන පරිදි විවාහය හා ඥාතිත්වය අතර ඥාති සම්බන්දතා සමාන්තර හා හරස් වශයෙන් කොටස් දෙකකට බෙදේ. පියාගේ සහෝදරයන් හා ඔවුන්ගේ දරුවෝ ද මවගේ සහෝදරියන් හා ඔවුන්ගේ දරුවෝ ද සමාන්තර ඥාතීහු වෙති. පියාගේ සහෝදරියන් හා ඔවුන්ගේ දරුවෝ සහ මවගේ සහෝදරයන් හා ඔවුන්ගේ දරුවෝ හරස් ඥාතීහු වූහ. සමාන්තර ඥාතීහු අතර විවාහ සබඳතා පැවැත්වීම සමාජය හෙලා දුටු ව්‍යභිචාරී තහංචියක් වූ අතර හරස් ඥාතීන් හෙවත් ඇවැස්ස විවාහය සඳහා සුදුසු බව සමාජය පිළිගත්තේ ය.

   ඇවැස්ස විවාහය සමස්ත සමාජය විසින් පිළිගන්න ලද බැවින් නෑනා හා මස්සිනා එළිපිට  ම සිය ආදරය ප‍්‍රකාශ කිරීමට පෙළබි ඇති ආකාරයත් නෑනා අයිති මස්සිනාට ය යන අදහස තුළ ඔවුන් නිදහසේ තම අදහස් හා අරමුණු ඉටු කර ගැනීමට පෙළඹුණු ආකාරයත් සිංහල ජන සංස්කෘතියේ විවිධ සාහිත්‍යාංග තුළින් දැකගත හැකි ය. ඇවැස්ස විවාහ ක‍්‍රමය උපයුක්ත කරගනිමින් ලාංකික ජන කවියා එය අනුමත කළේ ස්වභාවධර්මයෙන් ම සිදුවිය යුත්තක් ලෙසිනි. වැසි දිය සමුදුරටත්, මල් පැණි බඹරාටත් ස්වභාවධර්මයෙන් ම අයිතිවන බැවින් ජන කවියා විසින් නෑනා මස්සිනාට ම හිලවු කරන ලද්දේ ය.

  වැසි දිය අයිති ගං හෝ ඇළ                      සමුදුරටයි
  මල් පැණි අයිති වට ගුමු දෙන                   බඹරාටයි
  මී රා අයිති කිතුලේ කළ                           වැද්දාටයි
  නෑනා අයිති කාටද                                මස්සිනාටයි

    ඇවැස්ස නෑකම මුලික කරගනිමින් නෑනා මස්සිනාට ම හිමි කල ජනකවියා නෑනා කෙනෙක් නැති ව සිටින මස්සිනා ව ජන කවිය තුලින් හාස්‍යයට ලක් කරන ලදී.

 සාගතේ මොටද මිනිහෙක් සතෙක්                 නැතී
 මාවතේ මොටද ගමනට ඉමක්                       නැතී
 රා මතේ මොටද මග පෙරලූමක්                     නැතී
 ජිවිතේ මොටද නෑනා කෙනෙක්                     නැතී

    යතෝක්තයේ දැක්වෙන ජන කවි තුළින් විදහා දැක්වෙන්නේ ඇවැස්ස විවාහය යන්න එ කල ජන සමාජය තුළ සුලබ ව දක්නට ලැබුණු විවාහ ක‍්‍රමයක් බව යි. මහනුවර යුගය වන විට ඉතා ම සුදුසු විවාහය ලෙස පිලිගැනුනේ ඇවැස්ස විවාහය යි. එ මෙන් ම මධ්‍යකාලීන යුගය තුළ ද ලංකාවේ ඇවැස්ස විවාහය සුලභ ව දකින්නට ලැබුණි.

    මෙ වැනි කරුණු හේතුකොට ගෙන ලාංකික ජන සමාජය තුළ ඉතා ජනප‍්‍රිය ව පැවතුනු ඇවැස්ස විවාහය කුමනාකාරයෙන් ලාංකික ජන සමාජයට පැමිණියද හා ඒ තුළ අන්තර්ගත අන්තර් සංස්කෘතික ලක්ෂණ කෙබඳු දැයි අන්තර් සංස්කෘතික සන්නිවේදන න්‍යායන් තුළින් විශද කරලීම පහත දැක්වෙන අයුරින් පෙන්වා දිය හැකි ය.

    එකිනෙකට වෙනස් සංස්කෘතීන් තුළ ජිවත්වන මිනිසුන් එම සංස්කෘතීන් තුළ පවතින සංස්කෘතික ලක්ෂණවල විවිධත්වය නො තකමින් ඔවුනොවුන් අතර (සංස්කෘතීන් අතර) සන්නිවේදනය සිදුවන ආකාරය අධ්‍යයනය කිරීමේ විෂය ක්ෂේත‍්‍රයේ අන්තර් සංස්කෘතික සන්නිවේදනය ලෙස හැඳින්විය හැකි ය.

    ඇවැස්ස යන්නෙහි ඉතා ළඟ ම නෑකම් ඇති, ලේ උරුම යන අර්ථ ද වන බව සිංහල ශබ්දකෝෂයෙහි පෙන්වා දී ඇත. බුදුන් වහන්සේ හා සමග ඇවැස්ස ඥාතිත්වයක් තිබූ ථුල්ලතිස්ස නමැති තෙරුන් වහන්සේ අනෙකුත් තෙරුන් වහන්සේලා පිරිසක් සමග වූ ආරවුලක දී ඒ ඇවැස්ස භාවයෙහි අගය පැවසුයේ බුදුන්ට අවශ්යයෙමි...හැමගේත් අවශ්‍යකමක් ඇත්ද බුදුන්ගේ පිය රජ්ජුරුවොත් අපගේ මෑණියෝත් දෙභින්නෝ ය යනුවෙනි.                                                 
  (පැරණි සිංහල විවාහ සංස්කෘතිය - 169 පිටුව)
               
                 මහා වංශයෙහි සඳහන්වන පරිදි දකුණු ඉන්දියාවේ සාමාන්‍ය සිරිතක් වූ ඇවැස්ස විවාහය ශාක්‍ය වංශයේ පරම්පරා 3කට සිදු වූ බව සඳහන් වේ. (මධ්‍යකාලීන ලංකා සංස්කෘතිය - 1969)
     
       උක්ත නිදසුන් දෙකෙහි පැවසෙන පරිදි ඇවැස්ස විවාහය ඉන්දියානු සංස්කෘතිය තුල දී ගෞතම බුදුන්ගේ සමයේ සිට ද පැවත ආ විවාහ විධි ක‍්‍රමයක් බව ධ්වනිත වේ. එය පසක් කරනුවස් මෙවැනි නිදසුන් ද පෙන්වාදිය හැකි ය. සිදුහත් කුමරුවන් සරණ පාවාගත් යශෝධරා කුමරිය එතුමන්ගේ නෑනණ්ඩිය වූවා ය. මෙකී විවාහය තීරණය කරනු ලැබුයේ ඔවුන් බිලිඳු අවදියේ ම ය. සුද්ධෝධන රජු තම නැගණියන්ට දුවක ලද බව අසා මයේලි මපුතුතනුවන්ට මතු අගමෙහෙසුන් වේවා යි කියූ කරුණෙන් පැහැදිලි වේ. 
      
     පසු ව පියරජුන් විසින් නැගණියන් වැදු දියණියන් හෙයින් හිමිකම් බැණ ගිවිස්වා මගුල්කොට පාවා දුන් අයුරු විස්තර වන්නේ ය. සුද්ධෝදන රජුන් හා විවාහ වූ මහාමායා දේවියප‍්‍රජාපතී ගෝතමී දේවිය ද රජුගේ ඇවැස්ස නෑනාවරුන් වූහ. එ පමණක් නොව ඔවුන්ගේ ඊට පෙර පරම්පරාවේ සුද්ධෝදන රජුගේ පියාණන් වූ සිංහහනු රජු අංජන රජුගේ සොහොයුරිය වූ යශෝදරා නම් කුමරියක් සමග ද අංජන රජු සිංහහනු රජුගේ සොහොයුරිය වූ කච්චායනා නම් කුමරිය සමග ද ඇවැස්ස ඥාතිත්වය මත විවාහ වී සිටියෝ ය.
ශාක්‍ය, කෝලිය රජ පරම්පරා දෙක අතර නිරන්තරයෙන් ම සිදු වී තිබුණේ ඇවැස්ස විවාහ බව ඉතිහාස කතා තුළින් අනාවරණය වේ. 
       
         තව ද කෝලිය නුවර විසූ ප‍්‍රියා නම් බිසව සිය පුතුන් දෙතිස කැඳවා කීවේ කපිල පුරයෙහි රජ කරන සිව් බෑ රජුහු මාගේ මල් බාණෝ ය. ඒ කරණයෙන් තොපගේ මයිලෝ ය. උන් සතරදෙනාගේ දුවරු දෙතිස් දෙනෙක් ඇත. උන් තොපගේ බැදෑවූ ය. තොපි සැම සුරු නම් තොප බැඳවුන් රක්ෂා කරව යනුවෙනි.
  (පැරණි සිංහල විවාහ සංස්කෘතිය - 101 පිටුව)

         රෝහිණී ගංගාවේ ජලය නිසා ශාක්‍ය, කෝලිය රජ දරුවන් යුද්දයට සැරසුණු කාලයේ දෙනුවර ඇවැස්ස ඥාතිත්වය මත බොහෝ කුමාරිකාවන් විවාහ වී හුවමාරු වී ඇත. යට කියන ලද මෙ වැනි අවස්ථාවන් තුළින් ද ධ්වනිතර්තවත් වන්නේ ඇවැස්ස ඥාතිත්වය යන්න භාරතීය සංස්කෘතීන් එ කල බොහෝ ජනප‍්‍රිය ව පැවත ඇති බව යි.
        
       තව ද පසේනදී කෝසල රජුන් සිය නැගණියන්ගේ පුත‍්‍රයා වූ අජාසත් රජුට සිය දියණියන් වූ වජිරා කුමරිය පාවා දුන්නේ ඔහු සිය ඇවැස්ස බෑණා වූ හෙයිනි. එ මෙන් ම කුසිනාරා නුවර මල්ල රජුන් බන්ධුල සේනාපතියන්ට ඇවැස්ස ඥාතිත්වය මත සිය දියණිය මල්ලිකාවන් පාවා දීම සඳහා ඔහුට අභියෝගයක් ඉදිරිපත් කළ අයුරු ද ඉතිහාස කතා තුළ දක්නට ඇත.
      
         එ ලෙස ම සද්ධර්මරත්නාවලියේ නන්දික උපාසකයන්ගේ කතා වස්තුවෙහි ද මෙ ලෙස ඇවැස්ස ඥාතිත්වය මුල්කොට ගනිමින් විවාහ වී ඇති ආකාරය දක්නට ලැබේ. නන්දික වැඩිවියට පැමිණි කල්හි ලං ව තිබෙන ගෙයක හිඳිනා මයිලනු කෙනෙකුගේ දු වූ රේවතී නම් තරුණියක සරණ ගෙන ඒමට කටයුතු කෙරුණි.
           
        මහාලී ප‍්‍රශ්න වස්තුවෙහි සුජාතා ප‍්‍රකාශ කරන මං මේ මඝ මානවකයන්ට සෙස්සවුන් සේ නො වෙමි. නැදි මයිල් සරණ ය යනුවෙන් සඳහනක් දක්නට ඇත.ඒ තුළින් විසද වන්නේ සිය සැමියා මස්සිනා වූ බව යි. තව ද ධම්මපදට්ට කතාවෙහි මඝ මානවකයා සිය මයිලනුවන්ගේ දියණියන් සුජාතා හා සමග විවාහ වූ බව සඳහන් වීමෙන් මෙය නිසැකව ම ඇවැස්ස විවාහයක් වූ බව තහවුරු වන බව ද දැකගත හැකි ය.
             
        මතු දැක්වෙන සියලූ ම තොරතුරු හා කාර්යයන් පසක්වනු ලබන්නේ අතීතයේ දී භාරතීය සංස්කෘතිය තුළ ඇවැස්ස විවාහය ඇවැස්ස ඥාතිත්වය හෙවත් නෑනා මස්සිනා විවාහය මගින් සිදු වුණු බවයි.

       එ මෙන් ම මහා වංශයේ දැක්වෙන තොරතුරුවලට අනුව සුප්පා දේවිය සිංහයාගේ මරණින් පසු විවාහ ප‍්‍රාප්ත වූයේ සිය ඇවැස්ස මස්සිනා වූ සෙනෙවියා සමග ය. අශෝක අධිරාජ්‍යයාගේ දියණියක් වූ සංඝමිත්තා කුමරිය සිය මස්සිනා වූ අග්නි බ‍්‍රහ්මයන් සමග පාණිග‍්‍රහණයට පත් වූවා ය. ධම්මපදට්ට කතාවෙහි එන සඳහනකට අනුව ආනන්ද නම් යෞවනයෙකු සිය පියාගේ සොහොයුරියගේ දියණිය වූ උත්පලවණ්ණා පාවා ගැනීමට උත්සුක වූ අයුරු ද මහාවංශයේ හෙළිදරව් වේ. ඒ අනුව ද දැක ගත හැකි වනුයේ ජාතක කතා හා වෙනත් තොරතුරුවල ඇවැස්ස විවාහය පිළිබඳ බොහෝ සෙයින් කරුණු සඳහන්වන බවයි.
                       
       තව ද සද්ධර්මරත්නාවලියෙහි දැක්වෙන මාගේ මලූන් හෙයින් තොපගේ මයිලෝ ය...උන්ගේ දු ඇත්නම් තොපට බිසෝ කරව යි යන සඳහන මෙන් ම අවශ්‍ය බෑණන් හෙයින් ගෙන්වා පාවා දුන මනා තැන කළ දෑ ම යහපති යන සඳහන අනුව ද ගම්‍ය වන්නේ ඉන්දියානු සමාජයේ එ කල ඇවැස්ස විවාහය නිසැක ව ම කළ යුතු වූ චාරිත‍්‍රයක් ව පැවති බව තහවුරුවන බව යි.
                       
          ඉන්දියානු භාරතීය සංස්කෘතියෙහි මෙන් ම ලාංකීය සංස්කෘතිය තුළ ද ඇවැස්ස විවාහය තිබූ බව ඉපැරණි ලාංකික සාහිත්‍යය හෙළිදරව් කරන ආකාරයක් දැක ගත හැකි ය. ඒ තුළින් විශද වනු ලබන්නේ අන්තර් සංස්කෘතික ලක්ෂණ බව ද කිව හැකි ය. මන්ද යත් ලාංකික සංස්කෘතියට ඇවැස්ස විවාහය පැමිණෙන්නේ ඉන්දියානු සංස්කෘතිය හේතුකොට ගෙන යැයි යට කී තොරතුරු අනුව පෙන්වා දිය හැකි ය.

      එ නම් මහා වංශයේ දැක්වෙන පරිදි දීඝගාමිණී කුමරු පාවා ගත්තේ සිය නෑනණ්ඩිය වූ උන්මාද චිත‍්‍රවෝ ය. ඔවුන්ගේ පුත‍්‍රයාණන් වූ පණ්ඩුකාභය කුමරු සිය මයිලණු ගිරිඛන්ඩශිවගේ දියණිය වූ පාලි කුමරිය සිය මෙහෙසිය කොටගත්තෝ ය. ලාංකික ජන සමාජයේ මුල් කාලීන ව රජ කළ රජවරුන් ද මේ අයුරින් සිය අගමෙහෙසිය කරගනු ලැබුයේ සිය නෑනාවරුන් බව මයින් ඉස්මතු වී පෙනේ.

        සිංහල ජන සමාජයේ පැවතී එක්තරා පැරණි  වනුයේ තරුණියන් දෙතුන්දෙනෙකු සිටින පවුලක ඇවැස්ස මස්සිනා කෙනෙකු වැඩිමහල් තරුණිය විවාහ කර ගතහොත් වෙන ඇවැස්ස මස්සිනා කෙනෙකුන් නැත්නම් බාල සොහොයුරියන් ද ඔහු විසින් ම විවාහ කර ගැනුණි. මෙය දේපළ පිට නො යනු පිණිස ගත ක‍්‍රියා මාර්ගයක් යැයි සිතිය හැකි ය. එ කල සුද්ධෝදන රජුන් සහෝදරියන් දෙදෙනෙකු මහාමායා හා ප‍්‍රජාපතී ගෝතමී දේවිය යන කුමාරිකාවන් වන තම නෑනාවරුන් විවාහ කර ගත්තේ දේපළ යන සාධකය හේතුකොට ගෙන නො ව ඇවැස්ස ඥාතිත්වය රීතියක් නිසා බව ද ඉතිහාසය සාක්ෂි දරා ඇත.

       ඉන්දියානු ජන සමාජයේ මෙන් ම කාන්කික ජන සමාජය තුළ ද නෑනා මස්සිනා විවාහය සමාජය තුළ කිඳා බස තිබූ ආකාරය සිංහල ජන කවිවල එන නෑනා අයිති කාටද මස්සිනාටයි,ජිවිතේ මොටද නෑනා කෙනෙක් නැතී වැනි කවි පද මෙන් ම සිංහල ප‍්‍රස්ථාව පිරුළු අතුරෙහි එන නෑනයි මස්සිනයි වගේනෑනගේ මල්වර මගුල දා වගේ, නෑනා අත වනන්නා වගේ වැනි පිරුළු ද ඇවැස්ස විවාහය නියත සිංහල චාරිත‍්‍රයක් වූ බවට සාක්ෂි දරයි.

       මේ කී ඇවැස්ස විවාහය පිළිබඳ මෙ රට මේ තරම් දැඩි ව මුල් බස ගෙන තිබුන ද එය කෙ ලෙස මෙකී ලාංකික සමාජය තුළ ට පැමිණියේ ද යන්න සොයා බැලීමේ දී ඉහත සඳහන් තොරතුරුවලට අනුව එය භාරතීය සංස්කෘතියෙන් මෙ රටට පැමිණ ඇති ආකාරය දැකගත හැකි ය.

     දකුණු ඉන්දියානු සංස්කෘතියෙහි විවාහය පිළිබඳ ව විවිධ වූ තහංචි පැනවී තිබුන ද එ කළ සිට ම ඇවැස්ස ඥාති විවාහය සම්මත චාරිත‍්‍රයක් විය.ඉන්දියානු බ‍්‍රාහ්මණ වංශිකයන් අතර ද ඇවැස්ස විවාහය චාරිත‍්‍රයක් ව පවතී අතර එම වංශයේ තරුණයා හෝ තරුණිය හෝ වෙනත් පේ‍්‍රම සම්බන්ධතාවයක බැඳී සිටිය ද පිටස්තරයෙකුට පොරොන්දු දී සිටිය ද එය අතහැර ඇවැස්ස විවාහය ට එකඟ වීමට ද සිදු විය.

   යට කියන ලද දකුණු ඉන්දියානු, බ‍්‍රාහ්මණ වංශික චාරිත‍්‍ර හා සිංහල චාරිත‍්‍ර අතර බොහෝ සෙයින් සමානුරූපී ලක්ෂණ දක්නට ඇති බව පෙනේ. ඒ තුළින් අන්තර් සංස්කෘතික ලක්ෂණ ද විදහා දැක්වේ. අවශ්‍ය ඥාති විවාහ ක‍්‍රමය මගින් කුල  දුෂණය වලකා ගැනීමට මෙන් ම සිය පවුල් සතු වතුපිටි, දේපළ ඇතුළු වත්පොහොසත්කම් සිය පවුල් තුළ ම දිගින් දිගට ම රැුක ගැනීමට උත්සාහ ගැනුණු බව ද ඒ තුළින් පිළිගත හැකි ය.
                      
     ඒ අනුව යතොක්තයේ දැක්වෙන පරිදි ඇවැස්ස විවාහය භාරතීය සංස්කෘතියෙන් මේ රටට පැමිණි අන්තර් සංස්කෘතිකාංගයන්ගෙන් හෙබි විවාහ විධි ක‍්‍රමයක් බව මෙසේ විග‍්‍රහ කළ හැකි ය.

              Dula

   

No comments:

Post a Comment

හසරැල්ලේ ජනප්‍රියම ලිපි