හසරැල්ල කියවූ අය

Monday, July 10, 2017

මළගිය ඇත්තෝ නවකතාව සන්නිවේදන ප‍්‍රවේශ තුළින් විග‍්‍රහ වන අයුරු

ලොව පවතින විවිධාකාර වූ විෂය ක්ෂේත‍්‍රයන්ගෙන් එක් ව හැදුණු සන්නිවේදනය නම් විෂය අධ්‍යයනයේ පහසුව සඳහා විවිධ වූ සාධකයන් ඔස්සේ සරල ව ඉදිරිපත් කරලීමට සන්නිවේදන විද්වතුන් ප‍්‍රයත්න දරා ඇත.එකී කර්තව්‍ය සාර්ථක කරගැනිමෙහි ලා මහඟු දායකත්වයක් සපයන සාධකයක් ලෙස සන්නිවේදන ප‍්‍රවේශයන් පෙන්වා දිය හැකි ය.

    සන්නිවේදනය පිළිබඳ  සංස්කෘතික අධ්‍යයන ප‍්‍රවේශය
    සන්නිවේදනය පිළිබඳ මනෝවිද්‍යාත්මක ප‍්‍රවේශය

       යන ප‍්‍රවේශයන් ඔස්සේ මළගිය ඇත්තෝ නවකතාව මනා ලෙස විග‍්‍රහ කළ හැකි ය. මළගිය ඇත්තෝ හි එන දෙවෙන්දොරා සන්ගේ චරිතය හා එහි එන ජපන් සංස්කෘතික පරිසරය යට කියන ලද සන්නිවේදන ප‍්‍රවේශයන් තුළින් පෙන්වා දිය හැකි ය.මෙහි එන දෙවෙන්දොරා සන්ගේ චරිතය මනෝවිද්‍යාත්මක ප‍්‍රවේශය තුලින් විග‍්‍රහ කිරීමේ දී පෙර සඳහන් කළ පරිදි පුද්ගල මානසික ක‍්‍රියාවලිය ඔස්සේ පෙන්නුම් කළ හැකි ය.ඒ මෙන් ම නවකතාව ආරම්භයේ සිට ම නවකතාව පුරාවට ම විහිද යන මනහර වූ ජපන් සංස්කෘතියේ සුන්දරත්වය සන්නිවේදනය පිළිබඳ  සංස්කෘතික අධ්‍යයන ප‍්‍රවේශය හා සමගාමී ව විග‍්‍රහ කළ හැකි ය.
             
      මළගිය ඇත්තෝ නවකතාව ආරම්භයේ දී ම කාව්‍යාත්මක බස් වහරක් යොදා ගනිමින් සරච්චන්ද්‍රයන් විසින් ජපන් සංස්කෘතිය පිළිබඳ පාඨකයා දැනුවත් කරලන්නේ චිත්තරූප මවන්නා වූ ආකාරයෙනි.එකී අවස්ථාවන් සංස්කෘතික අධ්‍යයන ප‍්‍රවේශය මගින් විදහා දැක්වුවහොත් එයින් ජපන් සංස්කෘතිය හා එහි විචිත‍්‍රත්වය මනා වූ ආකාරයෙන් සහෘදයන්ට දැකගත හැකි ය.ජපන් මිනිස්සු තමන් පරිහරණය කරන පුංචි භාණ්ඩය පවා චමත්කාර අන්දමින් නිර්මාණය කරලන්නේ අනෙකුත් අයගේ ඇස පිනවන අන්දමෙනි.ඒ මගින් ඔවුන්ගේ සංස්කෘතිය මැනවින් සන්නිවේදනය කරනු ලබයි.ඔවුන් බොහෝ සෙයින් යන්ත‍්‍ර සූත‍්‍ර මගින් තම ක‍්‍රියාදාමයන් ඉටු කර ගත්තද ඒ තුළ මනුෂ්‍ය හෘදයන් තැන්පත් කරමින් වැනි හැඟීමක් ඇති වන පරිදි ඒවා පරිහරණය ට සමත් වී ඇත.ඒ තුලින් ද ඔවුන්ගේ සන්නිවේදනාත්මක දෘෂ්ටි කෝනයන්ගේ වෙසෙස් ලක්ෂණ පෙන්වා දිය හැකි ය.එකී අවස්ථාවන් මළගිය අත්තෝහි මේ ලෙස සඳහන් කළ හැකි ය.
                                                          
   ඒ රටට පැමිණි මට වහා ම හැඟුනේ,බැලූ බැලූ අත විවිධ වර්ණයෙන් දෑස පිනවන වෙන රටක් මා දැක නොමැති බවයි.ගිනි පෙට්ටි,තේ කෝප්ප වැනි  තමා පාවිච්චි කරන සෑම කුඩා දෙයකට ම අපුරු හැඩයක් දමා,විචිත‍්‍ර වර්ණයන් කවා සෞන්දර්යයෙන් වට වී ජිවත් වීම ජපනුන් අගය කරන පරමාර්ථයක් බව මට පෙනුනි. සෞන්දර්යයෙන් යුත් පරිසරයක විසීම සිතැඟි සමථ කිරීමෙහි ලා කෙතරම් උපයෝගී වන්නන්නක් දකඩයකට සාප්පුවකට ගිය ද බොජුන් හලකට,අවන් හලකට ගිය ද නිර්මාණය කරන ලද කිසියම් සෞන්දර්යයකින් ඉන්ද්‍රියයෝ පිබිදෙති.යන්ත‍්‍රයේ උපකාරයෙන් කෙරෙන නීරස ජීවිතයට වුව ද ඔවුහු රසයක් ඇතුලත් කරති.පැහැපත් වර්ණයන් කවා වාණයේ බීරැුනි ගතිය පහ කර දමති.සිත් පිත් නැති යන්ත‍්‍රය තුළ ද ඔවුහු මනුෂ්‍ය හෘදයන් තැන්පත් කරති.       
(පිටුව 09)                         
                                නවකතාව ඉදිරියට ගලාගෙන යාමේ දී ජපන් සංස්කෘතිය දෙවෙන්දොරා නොරිකෝ දකින ආකාරය මගින් ද ජපන් සංස්කෘතිය පිළිබිඹු වේ.එවැනි අවස්ථා ද සංස්කෘතික අධ්‍යයන ප‍්‍රවේශය තුළින් විග‍්‍රහ කළ හැකි ය.

ඈ ගෙට ගොස් අපේ කෑම රැගෙන ආ සැටි ද මට අමතක නො වේ.ඈ දණ ගසා දොර පළුව පසෙකට තල්ලූ කර හැර,එහා පැත්තේ බිම තැබූ කෑම බඳුන රැගෙන මෙහා පැත්තෙහි තබා,නැවත දොර පළුව වසා බඳුන අතට ගෙන ආවේ කිසියම් වතාවත් පුරන්නාක් සේ ය.
 (පිටුව 26)

   පුද්ගල චිත්ත ස්වභාවය විග‍්‍රහ කළ හැක්කේ මනෝ විද්‍යාව තුළින් බව පෙර සඳහන් කර ඇත.දෙවොන්දරාගේ මානසික තත්ත්වය,ඔහුගේ චිත්ත සන්තානය,ඔහුගේ හැඟීම් සමුදායන් මළගිය අත්තෝ හි මනාව නිරුපණය වී ඇත.දෙවොන්දරගේ හා නොරිකොගේ අරුතක් නොමැති පේ‍්‍රමයට අතරමැදියෙකු එක් වූ විට එකී පුද්ගලයා ජිවත් වන්නේ සැකයෙනි.ඔවුන්ගේ පේ‍්‍රමයට අතරමැදියෙකු මෙන් ම සංස්කෘතික පරස්පරතාවයක් ද පවතී.මේ වැනි කරුණු කාරණා හා සමගාමී ව දෙවොන්දරාගේ යටි සිත ක‍්‍රියා කරන ආකාරය පෙර සඳහන් කර ඇති මනසේ ස්වභාවය තුළින් විනිවිද දැකිය හැකි ය. මළගිය අත්තෝ නවකතාව තුළ එකී අවස්ථාවක් මෙ ලෙස පෙන්වා දිය හැකි ය.

මගේ සිතෙහි නොයෙක් විදිහේ සැක සංකා හට ගන්නට පටන් ගති.සොහොන්පලක හැසිරෙන හොල්මන් මෙන් ඒවා විකාර වෙස් පාමින් ඔබ මොබ දුවන්නට වී ය.ඔවුන් දෙදෙනා නොයෙක් වර හමු වන්නට ඇත.මා සමග බැහැර නො යන දිනවල ඈ ඔහු සමග යන්නට ඇත.තමා හා ඔහු අතර වූ සම්බන්ධය ඈ මෙතෙක් දවස් මගෙන් වසන්ගෙන තිබේ.එක් අතකින් එය මැනව යි මම කල්පනා කළෙමි.මම විදේශිකයෙක් වෙමි.ඔහු ස්වජාතික කෙනෙකි.ඈ මගේ සමාගම ප‍්‍රිය කළ ද අගේ ජිවිතයට මට සම්පුර්ණයෙන් පිවිසිය නො හැක.අපෙන් එකෙකුගේ ගැඹුරු ම හැඟුම් අනෙකාට පැවසීමට අපට පුළුවන්කමක් නැත.
  (පිටුව 47)     

පුද්ගල මනස තුළ නිරන්තරයෙන් සැක සංකා මතු වීමට හැකියාව ඇත.එ මගින් ඔවුහු මනසින් මහත් සේ පිඩාවන්ට පත් වේ.මනසේ ඇති වියවුල් භාවය පුද්ගලයාගේ ක‍්‍රියාවෙන් පිළිබිඹු වේ.මේ වැනි අවස්ථාවන් මනෝවිද්‍යාත්මක ප‍්‍රවේශය යටතේ මැනවින් පෙන්වා දිය හැකි ය.මන්ද යත් දෙවොන්දරා සන්ගේ චරිතය තුළ වඩාත් ගැබ් වී ඇත්තේ ඔහු මානසික ව පීඩා විඳින ආකාරය යි.පිටතින් පැමිණෙන විවිධාකාර පිඩනයන් නිසා ද පුද්ගල මනස තුළ විවිධ පීඩාකාරී තත්ත්ව ඇති වේ. දෙවොන්දරා ද මේ වැනි අවස්ථාවකට මුහුණ දී ඇති පුද්ගලයෙකි.මළගිය ඇත්තෝ තුළින් එය මනා වේ අයුරින් ප‍්‍රතිමුර්ති කර දක්වා ඇත.

එදා සවස මා විඳි චිත්ත පිඩාව ඊර්ෂ්‍යාව වන්නට ඇතැයි මම සිතමි.එහෙත් ඊර්ෂ්‍යාවක් දැයි මට සැකයක් ද සිතේ. ඊර්ෂ්‍යා වන්නට හේතුවක් නො තිබුණු බව මට හොඳින් පැහැදිලි විය. ඕකාතා සං කෙරෙහි අගේ අල්ප මාත‍්‍රයක්වත් කැමැත්තක් නො තිබුණේ නම් ඈ එය මගෙන් වසන් කරන්නේ නැත.එහෙත් මගේ සිත මහත් වේදනාවකින් පෙළුණේ ය.
 (පිටුව 48)
                                                
      අන්තර්වර්ති සන්නිවේදනයක් වන පුද්ගල මානසික ක‍්‍රියාවලිය ක‍්‍රියාවන් මගින්,ඉරියව් මගින්,අනෙකාට පිළිබිඹු වේ.මනෝවිද්‍යාත්මක ව ගත් කළ එය චර්යා මගින් ප‍්‍රකට වන්නක් බව පෙන්වා දිය හැකි ය.දුක,වේදනාව,සතුට වැනි හැඟීම් පුද්ගල මනසින් ඇරඹුන ද එම චර්යා මුහුණේ ඉරියව් මගින් ප‍්‍රකට වන අන්දම මළගිය ඇත්තෝ හි මේ ලෙස පෙන්වා දී ඇත.එය මනෝවිද්‍යාත්මක ප‍්‍රවේශය තුළින් දැකිය හැකි ය.

ප‍්‍රීති වූ අවස්ථාවන්හි නොරිකොගේ මුහුණ තරම් පැහැපත් මුහුණක් මා දැක නැති තරම් ය.ඒ වගේ ම දුකෙන් පෙළුණු විට අගේ මුහුණ තරම් මලානික මුහුණක් ද මා දැක නැත.ඈ දුක සැප දෙකෙහි ම එක සමාන තියුණු ආශ්වාදයක් විඳින්නී යයි මට සිතේ.
(පිටුව 57)

        පේ‍්‍රමය,ආලය,ආදරය මේ කුමන නමකින් හැඳින්වුව ද මෙම හැඟීමට වචනවලට නිසි ආකාර ව අර්ථයක් ලබා දීමට ලොව සිටින කිසිවෙකුට හෝ නොහැකි ය.පුද්ගලයා තවත් අයෙකුට පේ‍්‍රමය දනවන්නේ තම සිතිනි.එය අනෙක් අයට හඟවන්නේ ක‍්‍රියාවක් ලෙසිනි. මනෝවිද්‍යාත්මක ව පේ‍්‍රමය ද විග‍්‍රහ කළ හැකි ය.පේ‍්‍රමය මෙන් ම විරහව එනම් වෙන්වීම ද සුන්දර ලෙස දැකිය හැකි නම් ලොව මහත් සුන්දර තැනක් වනු ඇත.දෙවොන්දරාගේ හා නොරිකොගේ පේ‍්‍රමය ද එක්වීම් වෙන්වීම්වලින් සපිරි පේ‍්‍රමයකි.එහි ආදරය මෙන් ම විරහව ද නිරූපිත වේ. මනෝවිද්‍යාත්මක ව ගත් කළ එකී පේ‍්‍රමයෙන් සන්නිවේදනය වන ආදරය,විරහව සරච්චන්ද්‍රයන් තම කෘතියෙහි දෙවොන්දරාගේ හා නොරිකෝ මගින් මේ ලෙස පිළිබිඹු කර ඇත.

යන්න එපා  දෙවොන්දරා සං’ යි ඈ මගේ මුහුණ දෙස දුක්බර බැල්මක් හෙලමින් කිවා ය..
මගේ සිරුර තුළ ගින්නක් හට ගෙන හිස දක්වා අවිලිගෙන එන්නා සේ මට දැනුණි.මම එයින් මුළුමනින් ම දැවී ගියෙමි..
කොහොමද නො ගිහින්මන් ඉඳල පලක් නෑනේ.තව කොච්චරකල් මෙහෙම තියෙයි දඅපට හැමදාම බෑනේ මේ විදිහට.කවදාහරි වෙන් වෙන්න වෙනවා.දැන් වෙන එක ලේසි නැද්ද?
ඈ නැමී,තම මුහුණ මේසය මත තබා ගත්තා ය.
යනවනම් දෙවෙන්දොරා සන්ගේ සිරුරේ සුවඳ,මේ ඇඳුම්වල සුවඳ තියල යන්න...

     ලොව වෙසෙන සමහර පුද්ගලයන්ගේ සිත් කාටවත් තේරුම්ගත නොහැකි ය.ඔවුහු තනිව ම දුක් වෙති,සතුටු වෙති.හරිහැටි තීරණ ගැනීමට නො හැකි ව කල් ගෙවති.ඔවුන්ගේ යටි සිත ක‍්‍රියා කරන අන්දම ඔවුන් පහන් සිත මගින් හසුරුවාගෙන තම හැඟීම් ජීවිතය තුළ හකුළුවාගෙන කල් ගෙවති.මනෝවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයන් මෙය විග‍්‍රහ කරතොත් පෙර සඳහන් කර ඇති මනසේ ව්‍යුහය මගින් පෙන්වා දිය හැකි ය.දෙවෙන්දොරා ද යටි සිතෙහි තම හැඟීම් හංගාගෙන ජිවත්වන පුද්ගලයෙකු වැනි ය.නමුත් ඔහුගේ යටි සිත ප‍්‍රතිමුර්තිමත් වන අවස්ථාවන් මළගිය ඇත්තෝ හි මේ ලෙස පෙන්වා දිය හැකි ය. මනෝවිද්‍යාත්මක ප‍්‍රවේශය යටතේ ද මෙය ගෙනහැර දැක්විය හැකි ය.

සන්ගෙජියාවෙහි දී විසිතුරු බඩු විකුණන වෙළඳපලකට ගොස් ඇටවලින් සාදන ලද,අගලකට වඩා කුඩා වෙස් මුහුණක් මිළ දී ගත්තෙමි.එය ඊර්ෂ්‍යාව හා පළිගැනීම මුර්තිමත් කොට දක්වන නළු මුහුණක පිළිරුවක් විය.
මේක නැති කරන්නේ නැතිව පරිස්සමින් තියාගන්න.නොරිකොගේ හිත කවදා නමුත් වෙනස් වුනොත් මට ආපහු දෙන්න  ඕන’යි මම කීවෙමි.
මොකද මේ තරම් භයානක මුණක් තේරුවේ.මගේ හිත එහෙම තමයි. ඊර්ෂ්‍යාවෙනුයි නපුරුකමිනුයි පිරිලා.
මගේ හිත එහෙම නෑ.මම අරන් දෙනවා මේ සෞම්‍ය ගෑනු මුහුණ.
(පිටුව 66)
                     
        ප‍්‍රියයන්ගෙන් වෙන් වීම ද දරා ගැනීමට නො හැකි දෙයකි.තමන් ලඟට වී තමාගේ දුක සැප බෙදා ගැනීමට සිටි තමාගේ ම හිත මිතුරියගේ වෙන්වීම දරාගත නො හැකි ව මානසික පීඩා විඳින පුද්ගලයෝ ද සමාජයේ වෙති.මළගිය ඇත්තෝ හි දෙවෙන්දොරා සන් ට ද නොරිකොගේ වෙන්වීම ද මානසික කාන්සිය දනවන දුරස්වීමක් බව පෙන්වා දිය හැකි ය.මනෝවිද්‍යාත්මක ප‍්‍රවේශය යටතේ විග‍්‍රහ කළහොත් පුද්ගලයාගේ වෙන්වීම ද පුද්ගලයාගේ තනිවීමට මෙන් ම හුදෙකලා බවට ද බලපානු ඇත.ඒ වැනි අවස්ථාවන් මළගිය ඇත්තෝ හි මේ ලෙස පෙන්වා දිය හැකි ය.

නොරිකොගෙන් මා මුලුමනින් ම වෙන් වූ බව මට වැටහී ගියේ අගේ මුහුණ අවසන් වරට නොපෙනී ගිය කල ය.ඒ වැනි කාන්සියක් මට ඊට පෙර කිසි දවසක දැනී නැත.
(පිටුව 68)
                            
     එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් දෙවොන්දරගේ චරිතය ගුඪ චරිතයක් ලෙස අරුත් ගන්වා ඇත.ඒ නම් තේරුම්ගත නො හැකි චරිතයකි.ඔහු නොරිකොට ආලය කළ ද ඒ බව ඇයට නො පවසයි.ඇය කෙරෙහි ආලයක් සිතෙහි තබාගෙන ඔහු තමාගේ හැඟීම් හිර කර ගනිමින් ජිවත් වෙයි.මනෝවිද්‍යාත්මක ව ආදරය රාගය විශ්ලේෂණය කළ හැකි ය.සහජයෙන් ම මිනිසා ආදරයට මෙන් ම රාගයට ද ඇලූම් කරයි. මනෝවිද්‍යාත්මක ප‍්‍රවේශය යටතේ ගත් කළ මෙම අවස්ථාවන් හි චරිත ලක්ෂණ දෙවොන්දරාගේ චරිතය තුළින් පාඨකයාට සන්නිවේදනය කරලන්නට නවකතාකරුට හැකියාව ඇත.

      දෙවොන්දරා ආදරය රාගයෙන් මැනීමට විටෙක යත්න දරයි.රාගය  ඕනෑම ගැහැනියක් මගින් පිරිමියෙකුට ගත හැකි වුව ද සැබවින් ම ආලය කළ හැක්කේ හදවත දිනාගත් අයෙකුට පමණක් බව ද ඔහු වටහාගෙන ඇත.මේ වැනි පරස්පර විරෝධී සිතුවිලි දාමයන් ඔස්සේ ඔහු පැටලී ඇති ආකාරය මළගිය ඇත්තෝ හි මනා ව දක්නට ඇත.එහි ආලය,රාගය,ඉඳුරන් පිනවීම,තෘෂ්ණාව පිළිබඳ ව දැක්වේ.මේ වැනි අවස්ථාවන් තුළින් මනෝවිද්‍යාත්මක සන්නිවේදනය ප‍්‍රවේශය මනා ව පිළිබිඹු වන අයුරු දැකිය හැකි ය.

ආලය යි කියන්නේ කායික වුවමනාවන් පිරිමසා ගන්නා තුරු සිතේ හට ගන්නා ආශාව නො වේ ද?එසේ නම් විශේෂ ස්ත‍්‍රියක් පැතීමෙන් වැඩක් නැත.කායික ආශ්වාදය කවර ස්ත‍්‍රියකගෙන් වුව ද ලබාගත හැකි ය.මම නොරිකෝ පමණක් පැතුවේ ඇය තරම් හොඳින් වෙන කිසිම ස්ත‍්‍රියක් ඇසුරු කිරීමට මට ඉඩක් නො ලැබුණු නිසා වන්නට ඇත.හෘදයෙහි ඇවිලූණු රාග ගින්නෙන් හටගත් දුම් පටලයකින් මාගේ දෑස් දැන් වැසි තිබේ.රාගය සන්සින්දවුවහොත් මගේ දෑසට ප‍්‍රකෘති පෙනුම නැවත ලැබේ.

මගේ ලෝකය දැන් පිරි තිබෙන්නේ නොරිකොගෙන් ය.එහෙත් එය මා මවාගත් පටු කල්පනා ලොවකි.සැබෑ ලොව ඊට වැඩා කොතරම් පළල ද,එහි වෙන ස්ත‍්‍රීහු නො සිටිත්ද?මේ රටේ ස්ත‍්‍රීහු කොතරම් දෙකුම්කලූ වෙත් ද?මම රාගයේ මාර්ගයෙන් රාගයෙන් මිදෙන්නට බලමි. රාගයෙන් මිදීමට එක ම,මගක් නම් රාගයට ඉඩ දී ඉඳුරන් පිනවීම ය.අධික රාගයෙහි ගැලීමෙන් තෘෂ්ණාවේ වේගය සංසිදෙයි.එසේ වූ කළ උපේක්ෂාවෙන් යුතු ව ලොව දෙස බැලිය හැකි ය.එවිට සෑම දෙයක ම සෑම කෙනෙකුගේ ම යථා ස්වරූපය පෙනේ.
(පිටුව 72)

පේ‍්‍රමයේ දුක්ඛ පාර්ශ්වය විදහාපාන මෙම නවකතාවෙහි ආරම්භය මෙන් ම අවසානය ද ශෝඛන්තයෙන් ම නිම වන්නකි.මෙහි එන දෙවොන්දරගේ චරිතයෙහි මනෝ විද්‍යාත්මක ලක්ෂණ ද විශේෂයෙන් දැකිය හැකි ය.තම සිතැඟි හැඟීම් හංගාගෙන ජිවිතයට මුහුණ දිය නො හැකි ව සිත් තැව්ලෙන් ජිවත්වන චරිතයක් ලෙස දෙවොන්දරාව හඳුන්වා දිය හැකි ය.ඔහු නොරිකොට ආලය කරයි.අගේ සමාගමය පතයි.නමුත් ඇය ව ඔහු සතු කර ගැනීමට විධිමත් අයුරින් කටයුතු නො කරයි.ඔහුගේ සිතෙහි ආකුල තත්වය ඒ මගින් විද්‍යාමාන වේ.ඔවුන් දෙදෙනා සංස්කෘතීන් දෙකකට අතරමැදි ව සිටින නිසාවෙන් ඔහුට ඇය ලංකර ගෙනිමට නිසි තීරණයක් ගත නො හැකි ඔහු කල් ගතකරයි.මනෝවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් බැලූ කල්හි පුද්ගලයා ට තම ජීවිතය පිළිබඳ ව නිවැරදි තීරණ ගැනීමට නො හැකි ව මානසික ව ඒ පිළිබඳ ව විඳවන අයුරු මේ මගින් නිරුපනය වේ.

නොරිකෝ මෙහි ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මා නොයෙකුත් කටයුතු අරඹන නමුත් ඒ කිසිවක් නිට්ටාවට ම නො කරමි.මැඩ ගත නො හැකි වූ කිසියම් බාධාවක් මා ඉදිරියෙහි පැණ නගී.මා අවට වූ ජීවිතය වෙනස් කළ නොහැකි සත්‍යයක් සේ මට දැනේ.මා එයින් ගැලවී යන්නට තත් කරන්නේ කොයිබට ද?ඒ සත්‍ය පිලිගැනිමට වඩා නුවණට හුරු නොවේ ද?
(පිටුව 126)

   සන්නිවේදන ක‍්‍රියාදාමය විෂයාත්මක සාධකයන් හා සමගාමී ව විශ්ලේෂණය කිරීමෙහි ලා සන්නිවේදන ප‍්‍රවේශයන් මහඟු දායකත්වටක් සපයන ආකාරය සන්නිවේදනය පිළිබඳ මනෝවිද්‍යාත්මක ප‍්‍රවේශය හා සන්නිවේදනය පිළිබඳ  සංස්කෘතික අධ්‍යයන ප‍්‍රවේශය යටතේ චරිත හා එහි ඇති ජපන් සංස්කෘතිය ඇසුරින් මානව පෙන්වා දිය හැකි බව ඉහත දැක්වෙන උදාහරණ හා තොරතුරු මගින් විද්‍යමාන වේ. මනෝවිද්‍යාත්මක දෘෂ්ටිකෝණය හා සන්නිවේදනාත්ත්මක දෘෂ්ටිකෝණය යටතේ මෙහි කරුණු මැනවින් සනාථ කළ හැකි බැව් ද පෙන්වා දිය හැකි ය.යට කියන ලද සන්නිවේදන ප‍්‍රවේශයන් තුළින් දෙවොන්දර සන්ගේ චරිතය තුළ ඇති සංදෘෂ්ටික චරිත ලක්ෂණයන් හා ජපන් සංස්කෘතිය තුළ ඇති විචිත‍්‍රත්වයන් ද මනා අයුරින් ගම්‍යමාන වන අන්දම ඉහත සඳහන් කළ තොරතුරු මගින් විශද වේ.




No comments:

Post a Comment

හසරැල්ලේ ජනප්‍රියම ලිපි