හසරැල්ල කියවූ අය

Tuesday, August 28, 2018

තාත්තා..💜


තාත්තා ගැන මගෙ හිතේ තියෙන්නේ අසීමාන්තික ආදරයක් සහ හද පත්ලෙන් ම එන ගෞරවයකි. මා අසා ඇති පරිදි තාත්තා එදත් අදත් අපි වෙනුවෙන් අව්ව වැස්ස නොතකා වැඩ කරයි. තාත්තා ලස්සන ගෙවල්, තට්ටු ගෙවල් ගොඩක් සාදා ඇතිමුත් තාමත් අපේ ගෙදර හරි හැටි සාදා ගැනීමට තාත්තාට නොහැකි වී තිබේ. අම්මා කියන්නේ ඒ අපිට උගන්නන්නට ඕනෑ තරම් මුදල් තාත්තා වියදම් කළ නිසා බවයි. ඒ කතාව ඇත්ත බව මට දැන් හොඳ හැටි වැටහෙයි. මෙතුවක් කාලයකට මම ඉල්ලූ හැමදේම තාත්තා මට ගෙනවිත් දුන්නේ ය. නංගිලා දෙන්නාටත් එහෙම බව ද මම දනිමි.
අදටත් තාත්තා අපි ඉල්ලන සෑම දෙයක්ම අපිට ගෙනවිත් දෙයි. මට මතක ඇති කාලයක තාත්තා මා වැළඳගෙනවත් සිපගෙනවත් නැත. එහෙත් තාත්තාගේ සුවඳ, සෙනෙහස මට දැනෙයි. ඒ තාත්තා දකින විට හා තාත්තා වැඩට ගොස් පැමිණෙන විට දැනෙන දාඩිය සුවඳ මඟිනී.මා දැක ඇති පරිදි හා මා අසා ඇති පරිදි ගෙවල් සෑදීමට ඔහු දක්ෂයෙකි. එහෙත් අපේ ගෙදර දකින කෙනෙකුටනම් ඒ බව සනාථ කර ගත නොහැකි ය. මන්ද අදටත් අපේ ගෙදර හදා ගන්නට තාත්තාට නොහැකි වී තිබේ. ඒත් අදටත් තාත්තා අනුන්ගේ ගෙවල් ලස්සනට සාදයි. අනුන්ගේ ගෙවල් ලස්සනට, පිළිවෙළට සාදන තාත්තාගේ සතුටත් ආශාවත් අපේ ගෙදරත් ලස්සනට සදා ගැනීමයි. අදටත් ඒ ආශාව ඉටු කර ගැනීමට තාත්තාට නොහැකි වී ඇත. ඒ ඔහු උපයන හැම මුදලක් ම අපි වෙනුවෙන් වැය කරන බැවිනි. මගේ ලෝකය තුළ තාත්තා වීරයෙකි..! ඔහු පරිත්‍යාගශීලි පියෙකි.. ඉක්මණින් ම තාත්තාට විවේක සුවයෙන් ඉන්නට සැලැස්වීමට ඇවැසි කාලය එළඹ ඇත. ඒ නිසා තාත්තාත් අම්මාත් වෙනුවෙන් මා කැප විය යුතු බව වැටහේ.. ඒ වෙනුවෙන් මා කැප වෙමි.. "තාත්තේ මං තාත්තට ගොඩාක් ආදරෙයි" කියා කවදාවත් මම තාත්තාට කියා නැත.. තාත්තා ද, "දුවේ මං දුවට ගොඩාක් ආදරෙයි" කියා කිසි දිනෙක මා හට කියා නැත.. ඒත් තාත්තා අපිට ආදරේ කරන තරමත් ඔහු අපි වෙනුවෙන් කරන අසීමාන්තික කැපවීමත් මම දනිමි. තාත්තා වෙනුවෙන් මා හද තුළ තිබෙන සෙනෙහස, ආදරය, ගෞරවය කොතෙක්දැයි කියන්නට තරම් වචනයට හපන් එකියක් නොවෙමි මම.. එබැවින් මම මෙලෙස කියමි.., ආදරෙයි තාත්තේ..!!! 💜
-
දුලංජනී වික්‍රමගේ- 

හසරැල්ලේ ජනප්‍රියම ලිපි