හසරැල්ල කියවූ අය

Thursday, July 13, 2017

මිතුරෙකුට පෙම් කළ වගනම්...

නෙතට උළෙලක් වුවත් ඔබ මා        හට
අයිති නැති ලෙස සිතෙයි හැම          විට
අයිති උවහොත් ඔබ කාගේ කා        හට
නැගෙයි කඳුලක් මගේ            නෙතඟට

වැරදියි මං මම ඒ බව                     දනිමි
කෙලෙස සිත හදා ගන්නද මම   නොදමි
සිතන විට මිතුර ඔබ ගැන මට     අහිමි
දුක දරා ගත නොහැකිව තනියම අඬමි

මිතුරු පෙම වැරදියට හිතුවද         මන්දා
හිමි නැති ඔබ ගැන සිත වද දෙන  හින්දා
කුමක් කරන්නද මං අසරණ           හන්දා
අහිතක් සිතා දුක් නොදෙන්න        කැන්දා

සමාව ගන්නටවත් මම සුදුසු           නැති
ඔබ මිතුරෙකු පමණි මගේ                නිති
දුක පමණි ඔබ ගැන සිතුවොත්        ඇති
මිතුදම හොඳයි දිගු ගමනක් යන්න  ඇති

හමුවන විටදි සතුටු සිනා මට       දෙන්න
මිතුරෙකු ලෙසින්වත් මා ලඟ ඔබ ඉන්න
දරමි තනියම මා මේ දුක්                ගින්න
පතමි ඔබ හැමදාමත් සතුටින්        ඉන්න

දැනගත් දාට මා පෙම් කළ බව         ඔබට
අහිතක් හිතන්නෙපා මා ගැන   වැරදියට
නොදැනේනම් පෙමක් මා ගැන        ඔබට
තරහා නොවී යන්න සමුගෙන යන     දාට

Dula..


Monday, July 10, 2017

පුරහඳ කළුවර චිත‍්‍රපටියට බලපෑ නීතිමය තත්ත්ව ය.

   වාරණය යනු දෝෂ පරික්ෂවයි. සාහිත්‍ය, කලාව ඇතුළු යම් සන්නිවේදන මාධ්‍යයක දෝෂ නැතහොත් යෝග්‍යතාවය පරික්ෂාකර නොගැලපෙන දෑ ඇතොත් ඒවා ඉවත්කොට අමතක කිරීම මින් අදහස් කෙරේ.එහි වචනාර්ථය වැළකීම, තහනම,මුවාව හෝ බාධක වශයෙන් සරසවි ශබ්දකෝෂයේ දක්වා ඇත.
                                
   එ පරිදි ලාංකික සිනමාව ගත් කල ලාංකික සිනමාපට කෙරෙහි නීතිමය හා නීතිමය නොවන වාරණ අවස්ථාවන් ක‍්‍රියාත්මක ව ඇති ආකාරය චිත‍්‍රපට පිළිබඳ ව පරීක්ෂාවන් හි දී දැකගත හැකි ය. එකී චිත‍්‍රපට අතරින් නීතිමය නොවන ක‍්‍රියාවලියක් මත වාරණය කරන්නට උත්සහ කරන ලද චිත‍්‍රපටයක් වශයෙන් ප‍්‍රසන්න විතානගේයන් ගේ ”පුරහඳ කළුවර” චිත‍්‍රපටය නම් කළ හැකි ය. නමුත් පසු ව අධිකරණ තීන්දුවක් මගින් නැවත ප‍්‍රදර්ශනය කිරීම ට අවස්ථාව ලැබුණු මෙම චිත‍්‍රපටය එකල වරණයට ලක් කිරීම ට බල පෑ නෛතිකමය හේතූන් මෙපරිදි පෙන්වාදිය හැකි ය.
                                
  පුරහඳ කළුවර චිත‍්‍රපටය සෑදීමටත් පෙර මුලින් ම වාරණය වී ඇත්තේ එහි මුල් පිටපත යි. එබැවින් පේ‍්‍රක්ෂකයාට වත්මනෙහි නැරඹිය හැකිවන්නේ මුල් පිටපත වාරණය වූ පසු නැවත සකස්කොට ගනු ලැබූ පිටපතට අනුව සැකසුණ චිත‍්‍රපටය යි.
                                
    ඉන් අනතුරුව රැඟුම් පාලක මණ්ඩලයේ නිසි බලධාරියා විසින් සිනමා පටය වාරණය ට ලක් වීම සිදු විය. එනම් 2000.05.22 දින පත් වී ඇති නිසි බලධාරියාවන ආරියදාස රූපසිංහ විසින් එවා ඇති ලිපියකට අනුව හදිසි නීති රෙගුලාසි යටතේ එවකට ලංකාව තුළ පැවතී යුධමය හේතු සාධක මත චිත‍්‍රපටයේ තේමාව මෙන් ම එහි අන්තර්ගත සමහර සිදුවීම් ද අනුමත කළ නොහැකි බව පුරහඳ කළුවර චිත‍්‍රපටයේ අධ්‍යක්ෂක මෙන්ම නිෂ්පාදක ද වූ ප‍්‍රසන්න විතානගේ මහතා වෙත දැනුම් දී ඇත.
         
   ඉන් අනතුරුව 2000.07.03 දින පුරහඳ කළුවර චිත‍්‍රපටයේ අධ්‍යක්ෂ ප‍්‍රසන්න විතානගේ විසින් ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපතිතුමා වෙත ලිපියක් යොමු කර දක්වා ඇත්තේ නිසි බලධාරියා විසින් 2000.05.22වන දින ගත් තීරණය බල රහිත බවත් පුරහඳ කළුවර චිත‍්‍රපටය ජනතාව ට ප‍්‍රදර්ශනය කිරීම ට තමන් ට අවස්ථාවක් ලබා දෙන බවත් ය. එහි දී පෙළ ගස්වා ඇති සාධක මෙසේ සඳහන් කළ හැකි ය.
                                 
     පුරහඳ කළුවර චිත‍්‍රපටය රැුඟුම් පාලක මණ්ඩලය  විසින් ප‍්‍රදර්ශනය සඳහා අනුමැතිය ලබා ‘සරෝජා’ චිත‍්‍රපටයෙන් පසු පස්වන මණ්ඩලයෙන් තිරගත කිරීමට සංස්ථාවේ නීතිරීතිවලට අනුව පෙළ ගස්වා තිබුණි.
                                
     හදිසි නීති රෙගුලාසි අනුව යුධමය සම්බන්ධ චිත‍්‍රපට පවා නිසි බලධාරියා වෙත ඉදිරිපත් කළ යුතු යැයි පනවා තිබූ නියමය අනුව 2000.05.22 දින දරන ලිපියෙන් පුරහඳ කළුවර චිත‍්‍රපටය හදිසි නීති රෙගුලාසි 2000 අංක 11 යටතේ අනුමත කළ නොහැකි බව දන්වා ඇති බවත් ය.
                                
    2000.06.30වන දින ශේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද සන්ඬේ ලීඩර් නඩු තීන්දුව අනුව නිසි බලධාරියාගේ පත්වීම හා ඔහු දුන් සියලූ නියෝග නීතිය ට අනුකූල නොවන බව ට තීරණය කොට ඇත. ඒ අනුව පුරහඳ කළුවර චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය සඳහා අනුමැතිය නොදෙමින් නිසි බලධාරී ආරියදාස රූපසිංහ දෙන ලද 2000.05.22 දින දරන නියෝගයෙන් ද නීතියට අනුව බල රහිත වේ.
(ශ‍්‍රී ලාංකේය සිනමාව හා වාරණය, එස්. ඇම්. සමන්තා ප‍්‍රියදර්ශනී)
                                
    යට කියන ලද ඔහුගේ ඉල්ලීම්වල ට අනුව හා ප‍්‍රසන්න විතානගේ මහතා චිත‍්‍රපට සංස්ථාවේ සභාපති සමග කරන ලද සාකච්ඡාවට පසුව 2000.07.05 දින චිත‍්‍රපට සංස්ථාවේ සහකාර සාමාන්‍යාධිකාරී ප‍්‍රසන්න විතානගේ මහතා වෙත ලිපියක් එවමින් චිත‍්‍රපටයේ ප‍්‍රදර්ශන පිටපත හැකි ඉක්මනින් ඉන්දියාවේ ජෙමිනි රසායනාගාරයෙන් ගෙන්වා චිත‍්‍රපටයේ පිටපත් සංස්ථා ගබඩාවට භාර දෙන ලෙස දැනුම් දී ඇත. එලෙස ම බෙදා හැරීමේ ගිවිසුම් අත්සන් කර නොමැති නම් ඒ පිළිබඳ ව චිත‍්‍රපට සංස්ථාවේ නිසි බලධාරියා හමුවන ලෙසත් දැනුම් දී  ඇත.
                                
     ඒ අනුව ඉහත තත්ත්වය සලකා බලා පුරහඳ කළුවර චිත‍්‍රපටය 2000.07.28වන දින සිට 05 වන මණ්ඩලයේ සිනමාහල්වල තිරගත කිරීම ට අනුමැතිය ලැබී ඇත.
                     
    විෂය භාර අමාත්‍යවරයා විසින් පුරහඳ කළුවර චිත‍්‍රපටය වාරණය කිරීම ද මෙ පරිදි පෙන්වා දී ඇත.
                
      2000.07.01 දින ලිපියකින් චිත‍්‍රපට සංස්ථාවේ සභාපතිට විෂය භාර අමාත්‍යවරයා වූ සරත් අමුණුගම පුරහඳ කළුවර චිත‍්‍රපටය වාරණය කිරීමට නියෝග කර ඇත. එහි දී දන්වා ඇත්තේ ජාතික චිත‍්‍රපට සංස්ථාවේ 06වන වගන්තියෙන් මට ඇති බලතල අනුව පුරහඳ කළුවර චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කල් දමන්න ට ජාතික චිත‍්‍රපට සංස්ථාව නියෝග කර ඇත යනුවෙනි.
                                
පුරහඳ කළුවර චිත‍්‍රපටය හා සම්බන්ධ නඩු විභාගය පිළිබඳ ව මෙ ලෙස දක්වාලිය හැකි ය.
                
   චිත‍්‍රපටයේ විෂය භාර අමාත්‍යවරයාගේ මෙම දින නියමයක් නොමැති අත්හිටුවීම මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ශේෂ්ඨාධිකරණය ට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
                                
    ඉන් අනතුරුව එවකට චිත‍්‍රපට සමාගමේ සභාපති 2000.07.01 දින සංශෝධිත 2000 අංක 01 දරන හදිසි නීති රෙගුලාසි අනුව පත් කළ නිසි බලධාරියාගේ ත් චිත‍්‍රපටය ජාතික ආරක්ෂාව ට හා තවත් ගැටලූකාරී කරුණුවලින් සමන්විත වන්නේ දැයි විමසා සිටි අවස්ථාවේ නිසි බලධාරියා කිසි විටෙකත් ජාතික ආරක්ෂාව ට හානිකර ආකාරයේ කරුණු චිත‍්‍රපටයේ අඩංගුවන බව ට අදහස් ඉදිරිපත් නොකිරීම යටතේ නඩු විභාගයේ දී අධ්‍යක්ෂකවරයාට වාසිදායක ප‍්‍රතිපලයක් ලැබීම යන්න ද පෙන්වාදිය හැකි ය.
                                
   ඒ අනුව පුරහඳ කළුවර චිත‍්‍රපටය පේ‍්‍රක්ෂකගත කිරීම ට සිනමාහල්වල දී ප‍්‍රදර්ශනය කිරීමට අනුමැතිය ලැබී ඇත.





ජනමාධ්‍ය ක‍්‍රියාවලිය තුළ ආචාරධර්මයන්ගේ වැදගත්කම


      මිනිසාට තම අදහස්, හැඟීම් හා සිතුවිලි ආදිය හුවමාරු කර ගැනීම ට, ප‍්‍රකාශ කිරීම ට කිසියම් වූ මාධ්‍යයක් අත්‍යවශ්‍ය වේ. මිනිසාගේ මෙම අවශ්‍යතාවය හේතු කොටගෙන විවිධ මාධ්‍ය බිහි වුණා යැයි පැවසිය හැකි ය.මිනිසාගේ බිහි වීමත් සමග ම ආරම්භ වී ඇති සන්නිවේදනය වර්තමානය වනවිට ලොව තුළ මහා පෙරළියක් සිදු කර ඇත. සන්නිවේදනයෙන් තොර ව සමාජ පැවැත්මක් නොමැති බව ඒ ඔස්සේ වටහා ගත හැකි ය. තාක්ෂණයේ දියුණුව හා නව සොයාගැනීම් හි දියුණුවත් සමග ම විවිධ සන්නිවේදන මාධ්‍ය බිහි වී ඇත. මෙකී සන්නිවේදන මාධ්‍ය සමාජය තුළ නිරන්තරයෙන් විවිධ වූ බලපෑම්වලට ලක් වනවා මෙන් ම ඒ තුළින් සමාජය ට විවිධ වූ බලපෑම් එල්ල කිරීම දැක ගත හැකි ය.
                
   එය හේතුකොටගෙන එකී මාධ්‍යයන්ගේ මෙන් ම සමාජයේ යහපත උදෙසා එහි ක‍්‍රියාකාරිත්වය සීමා පනවමින් ආචාරධර්ම පද්ධතියක් බිහි වී ඇති ආකාරය පෙන්වා දිය හැකි ය. ආචාරධර්ම හා වාරණය, මාධ්‍ය හා මාධ්‍ය අධ්‍යයනය සමග දැඩි ව සබඳතා පවත්වන්නක් ලෙස පෙන්වා දිය හැකි ය. ආචාර ධර්ම මාධ්‍ය ක්ෂේත‍්‍රය ට කොතරම් දුර ට බලපෑමක් එල්ල කරනු ලබනව ද කිවහොත් සන්නිවේදන අධ්‍යයනය ට හා මාධ්‍ය අධ්‍යයනයටත් වඩා නුතනය වන විට එම ආචාර ධර්ම පිළිබඳ ව කතා බහ කරනු ලබයි.

    මෙම ක‍්‍රියාවලිය ට යොදාගනු ලබන මාධ්‍ය වශයෙන් මුද්‍රිත මාධ්‍ය ඔස්සේ පොත්පත්, සඟරා, පෝස්ටර් සහ පුවත්පත් ආදිය ද, විද්්‍යුත් මාධ්‍ය ඔස්සේ ගුවන් විදුලිය, රූපවාහිනිය, සිනමාව හා විනිවිදක ප‍්‍රක්ෂේපණ ඇතුළු ව ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් ද සාම්ප‍්‍රදායික මාධ්‍ය ඔස්සේ ගැමි නාටක, නාඩගම්, කෝලම්, ශාන්තිකර්ම, රූකඩ සංදර්ශන, කවිමඩු, කවි කොළ හා කැලෑ පත්තර ද, නුතන මාධ්‍ය ඔස්සේ විද්‍යුත් තැපෑල, අන්තර්ජාලය, චන්ද්‍රිකා තාක්ෂණය යන මාධ්‍යයන් පෙන්වා දිය හැකි ය.
                
    යථෝක්තයේ දැක්වෙන ජන මාධ්‍යයන් මගින් සිය පාඨක, ශ‍්‍රාවක, පේ‍්‍රක්ෂක, ජනතාව ට ලබා දෙන ප‍්‍රවෘත්ති, වාර්තා හා විශේෂාංග මගින් ප‍්‍රධාන කරුණු 4ක් ඉටු කරනු ලබයි. එනම්,

  •  තොරතුරු හා ප‍්‍රවෘත්ති ලබා දීම
  •  අධ්‍යාපනය හා දැනුම ලබා දීම
  •  විනෝදාස්වාදය ලබා දීම
  •  විවිධ කාර්යයන් සඳහා පෙළඹවීමක් ඇති කිරීම

යන කරුණු පෙන්වා දිය හැකි ය.
                
     මෙලෙස විවිධ කාර්යයන් හා අරමුණු ඉටු කරගනු වස් ග‍්‍රහකස්ථානගත කරනු ලබන විවිධ වූ තොරතුරු පිළිබඳ ව එකී මාධ්‍ය ආයතන වගකිව යුතු බව ද පෙන්වාදිය හැකි ය. ජනමාධ්‍ය ආයතන මගින් නිෂ්පාදනය කරන මානසික භාණ්ඩ නොයෙක් රුචි අරුචිකම් සහිත ග‍්‍රාහක පිරිසක් තම අවශ්‍යතා සපුරා ගනු වස් පරිහරණය කරන බැවින් මාධ්‍යයන්ගේ අරමුණ ද විවිධාකාර වේ. එම නිසා ජනමාධ්‍යවේදියා ජනතාව වෙත ගෙන එන ප‍්‍රවෘත්ති, වාර්තා හා විශේෂාංගවල අවංක භාවය හා සත්‍යවාදී භාවය ඉතා වැදගත් වේ. මේ හේතුවෙන් වෘත්තීය ජනමාධ්‍යවේදීන් ඉතාමත් වැදගත් කරුණු 2ක් කෙරෙහි අවධානය යොමු කළ යුතු ය.


  • පණිවුඩයේ විශ්වසනීයත්වය.
  • මුලාශ‍්‍රයේ විශ්වසනීයත්වය.        


   මේ ආකාරය ට තොරතුරුවල විශ්වසනීයත්වය ගැන සැලකිල්ලක් දක්වනවා සේ ම, තොරතුරු බිහි කිරීම ට උපකාරී වූ මුලාශ‍්‍රයේ විශ්වසනීයත්වය ගැන ද මාධ්‍යවේදියා සිය ප‍්‍රවෘත්තිය සම්බන්ධ ව වගකීම ඉසිලිය හැකි මුලාශ‍්‍රවලින් පමණක් තොරතුරු සොයා කරගැනීම ට අවධානය යොමු කළ යුතු ය. මෙකී මුලාශ‍්‍රය පුද්ගලයෙකු හෝ සංවිධානයක් හෝ පොතක් හෝ වෙනයම් ලේඛනයක් හෝ වීම ට පුළුවන. එහෙත් එහි විශ්වසනියත්වය පිළිබඳ ව වඩාත් සුපරික්ෂාකාරී වීම මාධ්‍යවේදියෙකුගේ වගකීම මෙන් ම යුතුකමක් ද වේ.
                
    තව ද ජනමාධ්‍ය විශේෂඥයින් කරන ලද පර්යේෂණවල දී ජනමාධ්‍ය කාර්යභාරය ප‍්‍රධාන කරුණු 03ක් මත රඳා පවතින බව හෙළි වී තිබේ. එ නම්,

  •   ආරක්ෂකයෙකු වශයෙන්
  •   මණ්ඩපයක් වශයෙන්
  •   ගුරුවරයෙකු වශයෙන්

                

     නමුත් යට කී පරිදි ජනමාධ්‍ය කාර්ය භාරය මෙසේ පැවතිය ද ජනමාධ්‍ය ක‍්‍රියාකාරිත්වයේ දී සමාජ වගකීම පිළිබඳ ගැටලූ ව මතු වේ. වර්තමාන ජනමාධ්‍යයන් මෙම සමාජ වගකීම ඉටු කරන්නේ ද යන්න පිළිබඳ ව අවධානය යොමු කළ යුතු ය. මෙහි දී ජනමාධ්‍ය ආචාරධර්මවල ට සුවිශේෂී ස්ථානයක් හිමි වේ.
                
   ජනතා අයිතිවාසිකම්වල මුර බල්ලන් හෙවත් අපක්ෂපාත අධික්ෂකයන් වශයෙන් කටයුතු කළ යුතු ජනමාධ්‍ය අද එකී න්‍යාය අමතක කර දමා ජනමාධ්‍ය තුළ දේශපාලකයින්ගේ ත්, ව්‍යාපාරිකයින්ගේ ත් අවශ්‍යතා ජනතාව වෙත ට ගෙන යන ක‍්‍රියාවලියක යෙදෙන බව වත්මනෙහි දැකගත හැකි ය. මෙවැනි පසුබිමක් යටතේ පවතින මෙරට මාධ්‍ය කලාව යම්තාක් දුරට හෝ සමාජ වගකීමක් නම් වූ පාර්ශවය වෙත යොමුකරගත හැකි වනුයේ ජනමාධ්‍ය මුලධර්ම හා ආචාරධර්ම සුරකින ජනමාධ්‍ය සංස්කෘතියක් හා පරපුරක් බිහි කිරීමෙන් බව කිව හැකි ය.
                යට කී පරිදි ජනමාධ්‍ය ක‍්‍රියාවලිය තුළ බහුලව ම ආචාරධර්ම පිළිබඳ ව අත්‍යවශ්‍ය වැදගත්කමක් ඇති බව දැකගත හැකි ය.

  
                 

මළගිය ඇත්තෝ නවකතාව සන්නිවේදන ප‍්‍රවේශ තුළින් විග‍්‍රහ වන අයුරු

ලොව පවතින විවිධාකාර වූ විෂය ක්ෂේත‍්‍රයන්ගෙන් එක් ව හැදුණු සන්නිවේදනය නම් විෂය අධ්‍යයනයේ පහසුව සඳහා විවිධ වූ සාධකයන් ඔස්සේ සරල ව ඉදිරිපත් කරලීමට සන්නිවේදන විද්වතුන් ප‍්‍රයත්න දරා ඇත.එකී කර්තව්‍ය සාර්ථක කරගැනිමෙහි ලා මහඟු දායකත්වයක් සපයන සාධකයක් ලෙස සන්නිවේදන ප‍්‍රවේශයන් පෙන්වා දිය හැකි ය.

    සන්නිවේදනය පිළිබඳ  සංස්කෘතික අධ්‍යයන ප‍්‍රවේශය
    සන්නිවේදනය පිළිබඳ මනෝවිද්‍යාත්මක ප‍්‍රවේශය

       යන ප‍්‍රවේශයන් ඔස්සේ මළගිය ඇත්තෝ නවකතාව මනා ලෙස විග‍්‍රහ කළ හැකි ය. මළගිය ඇත්තෝ හි එන දෙවෙන්දොරා සන්ගේ චරිතය හා එහි එන ජපන් සංස්කෘතික පරිසරය යට කියන ලද සන්නිවේදන ප‍්‍රවේශයන් තුළින් පෙන්වා දිය හැකි ය.මෙහි එන දෙවෙන්දොරා සන්ගේ චරිතය මනෝවිද්‍යාත්මක ප‍්‍රවේශය තුලින් විග‍්‍රහ කිරීමේ දී පෙර සඳහන් කළ පරිදි පුද්ගල මානසික ක‍්‍රියාවලිය ඔස්සේ පෙන්නුම් කළ හැකි ය.ඒ මෙන් ම නවකතාව ආරම්භයේ සිට ම නවකතාව පුරාවට ම විහිද යන මනහර වූ ජපන් සංස්කෘතියේ සුන්දරත්වය සන්නිවේදනය පිළිබඳ  සංස්කෘතික අධ්‍යයන ප‍්‍රවේශය හා සමගාමී ව විග‍්‍රහ කළ හැකි ය.
             
      මළගිය ඇත්තෝ නවකතාව ආරම්භයේ දී ම කාව්‍යාත්මක බස් වහරක් යොදා ගනිමින් සරච්චන්ද්‍රයන් විසින් ජපන් සංස්කෘතිය පිළිබඳ පාඨකයා දැනුවත් කරලන්නේ චිත්තරූප මවන්නා වූ ආකාරයෙනි.එකී අවස්ථාවන් සංස්කෘතික අධ්‍යයන ප‍්‍රවේශය මගින් විදහා දැක්වුවහොත් එයින් ජපන් සංස්කෘතිය හා එහි විචිත‍්‍රත්වය මනා වූ ආකාරයෙන් සහෘදයන්ට දැකගත හැකි ය.ජපන් මිනිස්සු තමන් පරිහරණය කරන පුංචි භාණ්ඩය පවා චමත්කාර අන්දමින් නිර්මාණය කරලන්නේ අනෙකුත් අයගේ ඇස පිනවන අන්දමෙනි.ඒ මගින් ඔවුන්ගේ සංස්කෘතිය මැනවින් සන්නිවේදනය කරනු ලබයි.ඔවුන් බොහෝ සෙයින් යන්ත‍්‍ර සූත‍්‍ර මගින් තම ක‍්‍රියාදාමයන් ඉටු කර ගත්තද ඒ තුළ මනුෂ්‍ය හෘදයන් තැන්පත් කරමින් වැනි හැඟීමක් ඇති වන පරිදි ඒවා පරිහරණය ට සමත් වී ඇත.ඒ තුලින් ද ඔවුන්ගේ සන්නිවේදනාත්මක දෘෂ්ටි කෝනයන්ගේ වෙසෙස් ලක්ෂණ පෙන්වා දිය හැකි ය.එකී අවස්ථාවන් මළගිය අත්තෝහි මේ ලෙස සඳහන් කළ හැකි ය.
                                                          
   ඒ රටට පැමිණි මට වහා ම හැඟුනේ,බැලූ බැලූ අත විවිධ වර්ණයෙන් දෑස පිනවන වෙන රටක් මා දැක නොමැති බවයි.ගිනි පෙට්ටි,තේ කෝප්ප වැනි  තමා පාවිච්චි කරන සෑම කුඩා දෙයකට ම අපුරු හැඩයක් දමා,විචිත‍්‍ර වර්ණයන් කවා සෞන්දර්යයෙන් වට වී ජිවත් වීම ජපනුන් අගය කරන පරමාර්ථයක් බව මට පෙනුනි. සෞන්දර්යයෙන් යුත් පරිසරයක විසීම සිතැඟි සමථ කිරීමෙහි ලා කෙතරම් උපයෝගී වන්නන්නක් දකඩයකට සාප්පුවකට ගිය ද බොජුන් හලකට,අවන් හලකට ගිය ද නිර්මාණය කරන ලද කිසියම් සෞන්දර්යයකින් ඉන්ද්‍රියයෝ පිබිදෙති.යන්ත‍්‍රයේ උපකාරයෙන් කෙරෙන නීරස ජීවිතයට වුව ද ඔවුහු රසයක් ඇතුලත් කරති.පැහැපත් වර්ණයන් කවා වාණයේ බීරැුනි ගතිය පහ කර දමති.සිත් පිත් නැති යන්ත‍්‍රය තුළ ද ඔවුහු මනුෂ්‍ය හෘදයන් තැන්පත් කරති.       
(පිටුව 09)                         
                                නවකතාව ඉදිරියට ගලාගෙන යාමේ දී ජපන් සංස්කෘතිය දෙවෙන්දොරා නොරිකෝ දකින ආකාරය මගින් ද ජපන් සංස්කෘතිය පිළිබිඹු වේ.එවැනි අවස්ථා ද සංස්කෘතික අධ්‍යයන ප‍්‍රවේශය තුළින් විග‍්‍රහ කළ හැකි ය.

ඈ ගෙට ගොස් අපේ කෑම රැගෙන ආ සැටි ද මට අමතක නො වේ.ඈ දණ ගසා දොර පළුව පසෙකට තල්ලූ කර හැර,එහා පැත්තේ බිම තැබූ කෑම බඳුන රැගෙන මෙහා පැත්තෙහි තබා,නැවත දොර පළුව වසා බඳුන අතට ගෙන ආවේ කිසියම් වතාවත් පුරන්නාක් සේ ය.
 (පිටුව 26)

   පුද්ගල චිත්ත ස්වභාවය විග‍්‍රහ කළ හැක්කේ මනෝ විද්‍යාව තුළින් බව පෙර සඳහන් කර ඇත.දෙවොන්දරාගේ මානසික තත්ත්වය,ඔහුගේ චිත්ත සන්තානය,ඔහුගේ හැඟීම් සමුදායන් මළගිය අත්තෝ හි මනාව නිරුපණය වී ඇත.දෙවොන්දරගේ හා නොරිකොගේ අරුතක් නොමැති පේ‍්‍රමයට අතරමැදියෙකු එක් වූ විට එකී පුද්ගලයා ජිවත් වන්නේ සැකයෙනි.ඔවුන්ගේ පේ‍්‍රමයට අතරමැදියෙකු මෙන් ම සංස්කෘතික පරස්පරතාවයක් ද පවතී.මේ වැනි කරුණු කාරණා හා සමගාමී ව දෙවොන්දරාගේ යටි සිත ක‍්‍රියා කරන ආකාරය පෙර සඳහන් කර ඇති මනසේ ස්වභාවය තුළින් විනිවිද දැකිය හැකි ය. මළගිය අත්තෝ නවකතාව තුළ එකී අවස්ථාවක් මෙ ලෙස පෙන්වා දිය හැකි ය.

මගේ සිතෙහි නොයෙක් විදිහේ සැක සංකා හට ගන්නට පටන් ගති.සොහොන්පලක හැසිරෙන හොල්මන් මෙන් ඒවා විකාර වෙස් පාමින් ඔබ මොබ දුවන්නට වී ය.ඔවුන් දෙදෙනා නොයෙක් වර හමු වන්නට ඇත.මා සමග බැහැර නො යන දිනවල ඈ ඔහු සමග යන්නට ඇත.තමා හා ඔහු අතර වූ සම්බන්ධය ඈ මෙතෙක් දවස් මගෙන් වසන්ගෙන තිබේ.එක් අතකින් එය මැනව යි මම කල්පනා කළෙමි.මම විදේශිකයෙක් වෙමි.ඔහු ස්වජාතික කෙනෙකි.ඈ මගේ සමාගම ප‍්‍රිය කළ ද අගේ ජිවිතයට මට සම්පුර්ණයෙන් පිවිසිය නො හැක.අපෙන් එකෙකුගේ ගැඹුරු ම හැඟුම් අනෙකාට පැවසීමට අපට පුළුවන්කමක් නැත.
  (පිටුව 47)     

පුද්ගල මනස තුළ නිරන්තරයෙන් සැක සංකා මතු වීමට හැකියාව ඇත.එ මගින් ඔවුහු මනසින් මහත් සේ පිඩාවන්ට පත් වේ.මනසේ ඇති වියවුල් භාවය පුද්ගලයාගේ ක‍්‍රියාවෙන් පිළිබිඹු වේ.මේ වැනි අවස්ථාවන් මනෝවිද්‍යාත්මක ප‍්‍රවේශය යටතේ මැනවින් පෙන්වා දිය හැකි ය.මන්ද යත් දෙවොන්දරා සන්ගේ චරිතය තුළ වඩාත් ගැබ් වී ඇත්තේ ඔහු මානසික ව පීඩා විඳින ආකාරය යි.පිටතින් පැමිණෙන විවිධාකාර පිඩනයන් නිසා ද පුද්ගල මනස තුළ විවිධ පීඩාකාරී තත්ත්ව ඇති වේ. දෙවොන්දරා ද මේ වැනි අවස්ථාවකට මුහුණ දී ඇති පුද්ගලයෙකි.මළගිය ඇත්තෝ තුළින් එය මනා වේ අයුරින් ප‍්‍රතිමුර්ති කර දක්වා ඇත.

එදා සවස මා විඳි චිත්ත පිඩාව ඊර්ෂ්‍යාව වන්නට ඇතැයි මම සිතමි.එහෙත් ඊර්ෂ්‍යාවක් දැයි මට සැකයක් ද සිතේ. ඊර්ෂ්‍යා වන්නට හේතුවක් නො තිබුණු බව මට හොඳින් පැහැදිලි විය. ඕකාතා සං කෙරෙහි අගේ අල්ප මාත‍්‍රයක්වත් කැමැත්තක් නො තිබුණේ නම් ඈ එය මගෙන් වසන් කරන්නේ නැත.එහෙත් මගේ සිත මහත් වේදනාවකින් පෙළුණේ ය.
 (පිටුව 48)
                                                
      අන්තර්වර්ති සන්නිවේදනයක් වන පුද්ගල මානසික ක‍්‍රියාවලිය ක‍්‍රියාවන් මගින්,ඉරියව් මගින්,අනෙකාට පිළිබිඹු වේ.මනෝවිද්‍යාත්මක ව ගත් කළ එය චර්යා මගින් ප‍්‍රකට වන්නක් බව පෙන්වා දිය හැකි ය.දුක,වේදනාව,සතුට වැනි හැඟීම් පුද්ගල මනසින් ඇරඹුන ද එම චර්යා මුහුණේ ඉරියව් මගින් ප‍්‍රකට වන අන්දම මළගිය ඇත්තෝ හි මේ ලෙස පෙන්වා දී ඇත.එය මනෝවිද්‍යාත්මක ප‍්‍රවේශය තුළින් දැකිය හැකි ය.

ප‍්‍රීති වූ අවස්ථාවන්හි නොරිකොගේ මුහුණ තරම් පැහැපත් මුහුණක් මා දැක නැති තරම් ය.ඒ වගේ ම දුකෙන් පෙළුණු විට අගේ මුහුණ තරම් මලානික මුහුණක් ද මා දැක නැත.ඈ දුක සැප දෙකෙහි ම එක සමාන තියුණු ආශ්වාදයක් විඳින්නී යයි මට සිතේ.
(පිටුව 57)

        පේ‍්‍රමය,ආලය,ආදරය මේ කුමන නමකින් හැඳින්වුව ද මෙම හැඟීමට වචනවලට නිසි ආකාර ව අර්ථයක් ලබා දීමට ලොව සිටින කිසිවෙකුට හෝ නොහැකි ය.පුද්ගලයා තවත් අයෙකුට පේ‍්‍රමය දනවන්නේ තම සිතිනි.එය අනෙක් අයට හඟවන්නේ ක‍්‍රියාවක් ලෙසිනි. මනෝවිද්‍යාත්මක ව පේ‍්‍රමය ද විග‍්‍රහ කළ හැකි ය.පේ‍්‍රමය මෙන් ම විරහව එනම් වෙන්වීම ද සුන්දර ලෙස දැකිය හැකි නම් ලොව මහත් සුන්දර තැනක් වනු ඇත.දෙවොන්දරාගේ හා නොරිකොගේ පේ‍්‍රමය ද එක්වීම් වෙන්වීම්වලින් සපිරි පේ‍්‍රමයකි.එහි ආදරය මෙන් ම විරහව ද නිරූපිත වේ. මනෝවිද්‍යාත්මක ව ගත් කළ එකී පේ‍්‍රමයෙන් සන්නිවේදනය වන ආදරය,විරහව සරච්චන්ද්‍රයන් තම කෘතියෙහි දෙවොන්දරාගේ හා නොරිකෝ මගින් මේ ලෙස පිළිබිඹු කර ඇත.

යන්න එපා  දෙවොන්දරා සං’ යි ඈ මගේ මුහුණ දෙස දුක්බර බැල්මක් හෙලමින් කිවා ය..
මගේ සිරුර තුළ ගින්නක් හට ගෙන හිස දක්වා අවිලිගෙන එන්නා සේ මට දැනුණි.මම එයින් මුළුමනින් ම දැවී ගියෙමි..
කොහොමද නො ගිහින්මන් ඉඳල පලක් නෑනේ.තව කොච්චරකල් මෙහෙම තියෙයි දඅපට හැමදාම බෑනේ මේ විදිහට.කවදාහරි වෙන් වෙන්න වෙනවා.දැන් වෙන එක ලේසි නැද්ද?
ඈ නැමී,තම මුහුණ මේසය මත තබා ගත්තා ය.
යනවනම් දෙවෙන්දොරා සන්ගේ සිරුරේ සුවඳ,මේ ඇඳුම්වල සුවඳ තියල යන්න...

     ලොව වෙසෙන සමහර පුද්ගලයන්ගේ සිත් කාටවත් තේරුම්ගත නොහැකි ය.ඔවුහු තනිව ම දුක් වෙති,සතුටු වෙති.හරිහැටි තීරණ ගැනීමට නො හැකි ව කල් ගෙවති.ඔවුන්ගේ යටි සිත ක‍්‍රියා කරන අන්දම ඔවුන් පහන් සිත මගින් හසුරුවාගෙන තම හැඟීම් ජීවිතය තුළ හකුළුවාගෙන කල් ගෙවති.මනෝවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයන් මෙය විග‍්‍රහ කරතොත් පෙර සඳහන් කර ඇති මනසේ ව්‍යුහය මගින් පෙන්වා දිය හැකි ය.දෙවෙන්දොරා ද යටි සිතෙහි තම හැඟීම් හංගාගෙන ජිවත්වන පුද්ගලයෙකු වැනි ය.නමුත් ඔහුගේ යටි සිත ප‍්‍රතිමුර්තිමත් වන අවස්ථාවන් මළගිය ඇත්තෝ හි මේ ලෙස පෙන්වා දිය හැකි ය. මනෝවිද්‍යාත්මක ප‍්‍රවේශය යටතේ ද මෙය ගෙනහැර දැක්විය හැකි ය.

සන්ගෙජියාවෙහි දී විසිතුරු බඩු විකුණන වෙළඳපලකට ගොස් ඇටවලින් සාදන ලද,අගලකට වඩා කුඩා වෙස් මුහුණක් මිළ දී ගත්තෙමි.එය ඊර්ෂ්‍යාව හා පළිගැනීම මුර්තිමත් කොට දක්වන නළු මුහුණක පිළිරුවක් විය.
මේක නැති කරන්නේ නැතිව පරිස්සමින් තියාගන්න.නොරිකොගේ හිත කවදා නමුත් වෙනස් වුනොත් මට ආපහු දෙන්න  ඕන’යි මම කීවෙමි.
මොකද මේ තරම් භයානක මුණක් තේරුවේ.මගේ හිත එහෙම තමයි. ඊර්ෂ්‍යාවෙනුයි නපුරුකමිනුයි පිරිලා.
මගේ හිත එහෙම නෑ.මම අරන් දෙනවා මේ සෞම්‍ය ගෑනු මුහුණ.
(පිටුව 66)
                     
        ප‍්‍රියයන්ගෙන් වෙන් වීම ද දරා ගැනීමට නො හැකි දෙයකි.තමන් ලඟට වී තමාගේ දුක සැප බෙදා ගැනීමට සිටි තමාගේ ම හිත මිතුරියගේ වෙන්වීම දරාගත නො හැකි ව මානසික පීඩා විඳින පුද්ගලයෝ ද සමාජයේ වෙති.මළගිය ඇත්තෝ හි දෙවෙන්දොරා සන් ට ද නොරිකොගේ වෙන්වීම ද මානසික කාන්සිය දනවන දුරස්වීමක් බව පෙන්වා දිය හැකි ය.මනෝවිද්‍යාත්මක ප‍්‍රවේශය යටතේ විග‍්‍රහ කළහොත් පුද්ගලයාගේ වෙන්වීම ද පුද්ගලයාගේ තනිවීමට මෙන් ම හුදෙකලා බවට ද බලපානු ඇත.ඒ වැනි අවස්ථාවන් මළගිය ඇත්තෝ හි මේ ලෙස පෙන්වා දිය හැකි ය.

නොරිකොගෙන් මා මුලුමනින් ම වෙන් වූ බව මට වැටහී ගියේ අගේ මුහුණ අවසන් වරට නොපෙනී ගිය කල ය.ඒ වැනි කාන්සියක් මට ඊට පෙර කිසි දවසක දැනී නැත.
(පිටුව 68)
                            
     එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් දෙවොන්දරගේ චරිතය ගුඪ චරිතයක් ලෙස අරුත් ගන්වා ඇත.ඒ නම් තේරුම්ගත නො හැකි චරිතයකි.ඔහු නොරිකොට ආලය කළ ද ඒ බව ඇයට නො පවසයි.ඇය කෙරෙහි ආලයක් සිතෙහි තබාගෙන ඔහු තමාගේ හැඟීම් හිර කර ගනිමින් ජිවත් වෙයි.මනෝවිද්‍යාත්මක ව ආදරය රාගය විශ්ලේෂණය කළ හැකි ය.සහජයෙන් ම මිනිසා ආදරයට මෙන් ම රාගයට ද ඇලූම් කරයි. මනෝවිද්‍යාත්මක ප‍්‍රවේශය යටතේ ගත් කළ මෙම අවස්ථාවන් හි චරිත ලක්ෂණ දෙවොන්දරාගේ චරිතය තුළින් පාඨකයාට සන්නිවේදනය කරලන්නට නවකතාකරුට හැකියාව ඇත.

      දෙවොන්දරා ආදරය රාගයෙන් මැනීමට විටෙක යත්න දරයි.රාගය  ඕනෑම ගැහැනියක් මගින් පිරිමියෙකුට ගත හැකි වුව ද සැබවින් ම ආලය කළ හැක්කේ හදවත දිනාගත් අයෙකුට පමණක් බව ද ඔහු වටහාගෙන ඇත.මේ වැනි පරස්පර විරෝධී සිතුවිලි දාමයන් ඔස්සේ ඔහු පැටලී ඇති ආකාරය මළගිය ඇත්තෝ හි මනා ව දක්නට ඇත.එහි ආලය,රාගය,ඉඳුරන් පිනවීම,තෘෂ්ණාව පිළිබඳ ව දැක්වේ.මේ වැනි අවස්ථාවන් තුළින් මනෝවිද්‍යාත්මක සන්නිවේදනය ප‍්‍රවේශය මනා ව පිළිබිඹු වන අයුරු දැකිය හැකි ය.

ආලය යි කියන්නේ කායික වුවමනාවන් පිරිමසා ගන්නා තුරු සිතේ හට ගන්නා ආශාව නො වේ ද?එසේ නම් විශේෂ ස්ත‍්‍රියක් පැතීමෙන් වැඩක් නැත.කායික ආශ්වාදය කවර ස්ත‍්‍රියකගෙන් වුව ද ලබාගත හැකි ය.මම නොරිකෝ පමණක් පැතුවේ ඇය තරම් හොඳින් වෙන කිසිම ස්ත‍්‍රියක් ඇසුරු කිරීමට මට ඉඩක් නො ලැබුණු නිසා වන්නට ඇත.හෘදයෙහි ඇවිලූණු රාග ගින්නෙන් හටගත් දුම් පටලයකින් මාගේ දෑස් දැන් වැසි තිබේ.රාගය සන්සින්දවුවහොත් මගේ දෑසට ප‍්‍රකෘති පෙනුම නැවත ලැබේ.

මගේ ලෝකය දැන් පිරි තිබෙන්නේ නොරිකොගෙන් ය.එහෙත් එය මා මවාගත් පටු කල්පනා ලොවකි.සැබෑ ලොව ඊට වැඩා කොතරම් පළල ද,එහි වෙන ස්ත‍්‍රීහු නො සිටිත්ද?මේ රටේ ස්ත‍්‍රීහු කොතරම් දෙකුම්කලූ වෙත් ද?මම රාගයේ මාර්ගයෙන් රාගයෙන් මිදෙන්නට බලමි. රාගයෙන් මිදීමට එක ම,මගක් නම් රාගයට ඉඩ දී ඉඳුරන් පිනවීම ය.අධික රාගයෙහි ගැලීමෙන් තෘෂ්ණාවේ වේගය සංසිදෙයි.එසේ වූ කළ උපේක්ෂාවෙන් යුතු ව ලොව දෙස බැලිය හැකි ය.එවිට සෑම දෙයක ම සෑම කෙනෙකුගේ ම යථා ස්වරූපය පෙනේ.
(පිටුව 72)

පේ‍්‍රමයේ දුක්ඛ පාර්ශ්වය විදහාපාන මෙම නවකතාවෙහි ආරම්භය මෙන් ම අවසානය ද ශෝඛන්තයෙන් ම නිම වන්නකි.මෙහි එන දෙවොන්දරගේ චරිතයෙහි මනෝ විද්‍යාත්මක ලක්ෂණ ද විශේෂයෙන් දැකිය හැකි ය.තම සිතැඟි හැඟීම් හංගාගෙන ජිවිතයට මුහුණ දිය නො හැකි ව සිත් තැව්ලෙන් ජිවත්වන චරිතයක් ලෙස දෙවොන්දරාව හඳුන්වා දිය හැකි ය.ඔහු නොරිකොට ආලය කරයි.අගේ සමාගමය පතයි.නමුත් ඇය ව ඔහු සතු කර ගැනීමට විධිමත් අයුරින් කටයුතු නො කරයි.ඔහුගේ සිතෙහි ආකුල තත්වය ඒ මගින් විද්‍යාමාන වේ.ඔවුන් දෙදෙනා සංස්කෘතීන් දෙකකට අතරමැදි ව සිටින නිසාවෙන් ඔහුට ඇය ලංකර ගෙනිමට නිසි තීරණයක් ගත නො හැකි ඔහු කල් ගතකරයි.මනෝවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් බැලූ කල්හි පුද්ගලයා ට තම ජීවිතය පිළිබඳ ව නිවැරදි තීරණ ගැනීමට නො හැකි ව මානසික ව ඒ පිළිබඳ ව විඳවන අයුරු මේ මගින් නිරුපනය වේ.

නොරිකෝ මෙහි ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මා නොයෙකුත් කටයුතු අරඹන නමුත් ඒ කිසිවක් නිට්ටාවට ම නො කරමි.මැඩ ගත නො හැකි වූ කිසියම් බාධාවක් මා ඉදිරියෙහි පැණ නගී.මා අවට වූ ජීවිතය වෙනස් කළ නොහැකි සත්‍යයක් සේ මට දැනේ.මා එයින් ගැලවී යන්නට තත් කරන්නේ කොයිබට ද?ඒ සත්‍ය පිලිගැනිමට වඩා නුවණට හුරු නොවේ ද?
(පිටුව 126)

   සන්නිවේදන ක‍්‍රියාදාමය විෂයාත්මක සාධකයන් හා සමගාමී ව විශ්ලේෂණය කිරීමෙහි ලා සන්නිවේදන ප‍්‍රවේශයන් මහඟු දායකත්වටක් සපයන ආකාරය සන්නිවේදනය පිළිබඳ මනෝවිද්‍යාත්මක ප‍්‍රවේශය හා සන්නිවේදනය පිළිබඳ  සංස්කෘතික අධ්‍යයන ප‍්‍රවේශය යටතේ චරිත හා එහි ඇති ජපන් සංස්කෘතිය ඇසුරින් මානව පෙන්වා දිය හැකි බව ඉහත දැක්වෙන උදාහරණ හා තොරතුරු මගින් විද්‍යමාන වේ. මනෝවිද්‍යාත්මක දෘෂ්ටිකෝණය හා සන්නිවේදනාත්ත්මක දෘෂ්ටිකෝණය යටතේ මෙහි කරුණු මැනවින් සනාථ කළ හැකි බැව් ද පෙන්වා දිය හැකි ය.යට කියන ලද සන්නිවේදන ප‍්‍රවේශයන් තුළින් දෙවොන්දර සන්ගේ චරිතය තුළ ඇති සංදෘෂ්ටික චරිත ලක්ෂණයන් හා ජපන් සංස්කෘතිය තුළ ඇති විචිත‍්‍රත්වයන් ද මනා අයුරින් ගම්‍යමාන වන අන්දම ඉහත සඳහන් කළ තොරතුරු මගින් විශද වේ.




හසරැල්ලේ ජනප්‍රියම ලිපි