හසරැල්ල කියවූ අය

Friday, June 30, 2017

සක්වා ලිහිණි ගීතය විචාරය

ගැ:දඬු මොනර පිටින් ගිහින් එන්න පෙම්බර ස්වාමි
දරු පැටවු බලා ඉන්නම් ඔබ නමින් ම පේවී..

පි:පුන් සඳ කොපුලත කඳුළු බිංදු වියලී යාවි
අපේ හඬ අරගෙන ඈත හඬන සක්වා ලිහිණි..

ගැ:දොළොස්මහේ පහන පත්තුවෙලා හදවතේ

පි:ඒ එළියෙන් මට පේනවා අපේ ආදරේ..
ගිය ගමන් තැපැල් කරමි සඳ කිඳුරු ජාතකේ
නො හඬන්න දේවියේ නො හඬන්න දේවියේ..

දඬු මොනර පිටින්..

පි:නේරංජනාව ද මා මේ එතෙර ව ආවේ

ගැ:යකඩින් ළය සදා තිබුණු අහස යන්තරේ..
කන්ථක අසු මෙන් ළය පැලෙන්නෙ නෑ හිමි සඳුනේ
මම නාඩා ඉන්නේ මම නාඩා ඉන්නේ..

දඬු මොනර පිටින්..

 පද රචනය -  අමිල තේනුවර
 සංගීතය    -   ගුණදාස කපුගේ
 ගායනය   -   ගුණදාස කපුගේ/ සමිතා එරන්දතී


                 ”මිනිසා විසින් සාක්ෂාත් කරගනු ලබන උත්තරීතර වූ මිනිස් හැඟීම් සහෘදයාට සම්පේ‍්‍රෂණය කරනු ලබන්නේ කලාව මගිනි.”යන ලියෝ තෝල්ස්තෝයිගේ අදහසට අනුව ධ්වනිත වන්නේ කලාව තුළින් සමාජ මෙහෙවරක් ඉටු කරන බවයි. එ කී අවශ්‍යතාවය සාක්ෂාත් කරගනු වස් බිහි වී ඇති විවිධ මාධ්‍ය අතරින් ගීතය ට හිමිවනුයේ ප‍්‍රමුඛතම ස්ථානයකි.
          වත්මන් කලා ලෝකයේ නිශ්චිත හැඩයක් අහිමි ව ගොස් ඇති ගීතය සියලූ ම කලාවන්ගේ  මුඛ්‍ය පරමාර්ථය වන මිනිසාගේ රස භාවයන් කම්පනය කරමින් සෞන්දර්යාත්මක රසවින්දනයක් සහෘදයා ට ලබා දෙනු ලබයි. ගීතය නිර්මාණය වනුයේ සාහිත්‍යය යන කලා මාධ්‍යය ට සංගීතය මනා ව සුසන්යෝජනය වීමෙනි. ගීතය උසස් කළා නිර්මාණයක් බව ට පත් වීම ට එහි පද මාලාව, තනු නිර්මාණය හා ගායනය ද එක සේ වැදගත් වේ. මින් එකක් හෝ දුර්වල වූ තැන ගීතය සාර්ථක නිර්මාණයක් නො වන්නේ ය.
                                මේ අයුරින් බිහිවන ගීතය සහෘදයා ට ඉතා සමීප කලා මාධ්‍යයක් වන බැවින් ඒ තුළින් සමාජ ශෝදනයක් අපේක්ෂාවෙන් සමාජය තුළ පවතින එක් ගැටළුකාරී තත්වයක සේයාවක් සහෘද සිත් සතන් තුළ ප‍්‍රතිනිර්මාණය කිරීමෙහි ලා ගත් ප‍්‍රයත්නයක් වශයෙන් බිහි ව ඇති ගීතයක් වශයෙන් ”සක්වා ලිහිණි” නම් ගීතය නම් කළ හැකි ය. සමාජය තුළ මතවාද ගොඩනැගීම ට සමත් ගීතයක් හෝ සමාජය තුළ පවතින ගැටළු කතිකාවතකට බඳුන් කළ හැකි ගීතයක් වේ නම් එ කී ගීතය විරෝධාකල්ප ගීත මධ්‍යයෙහි ලා ගැනිය හැකි ය.
          ඒ අනුව අමිල තේනුවර නම් ප‍්‍රතිභාපූර්ණ ගී පද රචකයා විසින් රචිත, ගුණදාස කපුගේ නම් අසහාය කලාකරුවා විසින් සංගීතවත් කරන ලද, ඔහු හා සමිතා එරන්දතී විසින් පද බැ`දුම ට ගායනයෙන් පණ පොවන මෙම සක්වා ලිහිණි නම් ගීතය ද සමාජීය ගැටලූවක් ධ්වනිථාර්ථවත් කරන විරෝධාකල්ප ගීතයක් වශයෙන් පෙන්වාදිය හැකි ය.
                                හැත්තෑ හත දශකයේ දී කවියෙකු, කෙටිකතා රචකයෙකු, ගීත රචකයෙකු ලෙස සාහිත්‍ය ලොවට පා තබන අමිල තෙනුවරයන් විසින් රචිත සක්වා ලිහිණි නම් ගීතයෙහි ප‍්‍රස්තුතය වී ඇත්තේ කුටුම්භ ජීවිතය තුළ පවතින ආර්ථික අහේනිය හේතුවෙන් තම බිරිඳ හා දරුවන් දමා විදේශයක ට පිටත් ව යන සැමියෙකු හා ඔහුගේ බිරිඳ අතර ඇතිවන සංවේගාත්මක හැඟුම් සමුදායකි. මෙම ගීතය යුග ගීතයකි. එනම් සැමියා හා බිරිඳ විසින් එකිනෙකා ට තම හැඟීම් පවසාගන්නකි. එකී හැඟීම් සමුදායේ මුල් අදියර අමිල තේනුවර මෙසේ අරුත් ගන්වා ඇත.


ගැ:  දඬු මොනර පිටින් ගිහින් එන්න පෙම්බර ස්වාමි
       දරු පැටවු බලා ඉන්නම් ඔබ නමින් ම පේවී..
පි:    පුන් සඳ කොපුලත කඳුළු බිංදු වියලී යාවි
       අපේ හඬ අරගෙන ඈත හඬන සක්වා ලිහිණි..
                               

         සක්වා ලිහිණියන් යනු එක් ලිහිණි විශේෂයකි. ඔවුහු දවල් කාලයේ දී පෙම්වතුන් ලෙස එකට සිට රාත‍්‍රියේ සඳ පායනවා හා සමඟ ඉවුරු දෙ පසට විසිරී යතී. මෙම ගීතයේ එන ස්වාමි පුරුෂයා ත් තම බිරිඳගෙන් හා දරුවන්ගෙන් වෙන් වී විදේශයක ට යාම ට සැරසේ. එහි දී ඔවුන් හද තුළ විප‍්‍රයෝගයේ වේදනාව කොතෙකුදු දැනෙනවා ද යන්න කාට කිව හැකි ද?
          එවන් විරහවක් සක්වා ලිහිණියන් ද තම වෙන්වීමේ දී සදාකාලික ව ම විඳිනවා වන්න ට ඇත. විප‍්‍රයෝගයේ වේදනාව මෙහි එන බිරිඳ හා ස්වාමියා අතර කොපමණ දැනෙනවා ද කිවහොත් එය පද ලෙසින් අරුත් ගැන්වීමට ගී පද රචකයා සක්වා ලිහිණින්ගේ සැබෑ ජිවිත ක‍්‍රියාකාරීත්වය මෙයට යොදා ගනිමින් ගීතය සුසංයෝගයෙන් සහෘදයාට දැනෙන අයුරින් පෙන්වා දෙනු ලබයි. සක්වා ලිහිණින්ගේ හඬා වැටීම විරහ විරහනියන්ගේ හඬා වැටීම ට බෙහෙවින් සමාන බැවින් මෙම ස්වාභාවධාර්මික සිද්ධාන්තය තත්කාලීන සමාජ, දේශපාලන, ආර්ථික, තලය මත ස්ථාපිත කරලීම ට තේනුවරයන් ගත් ප‍්‍රයත්නය අගයකොට දැක්විය හැකි ය.
                ගීතය තුළ ප‍්‍රථමයෙන් හඳුන්වන්නේ ආර්ථිකය ජය ගැනීම ට දුර රටක ට යාම ට සැරසෙන තම සැමියා ට දුක සඟවාගෙන ඔහුගේ චිත්ත ධෛර්යය වඩවමින් ඔහු ට සුබ පතන බිරියකි. සැමියා ඇගෙන් වෙන් ව යන මොහොතේ ඈ තුළ ඇතිවන මනෝභාවය තුළින් රචකයා උත්සුක වී ඇත්තේ ලාංකික ජන සමාජයේ මෙ වැනි අවස්ථාවන් ට මුහුණ දෙන මධ්‍යම පාන්තික කාන්තාවකගේ යථා ස්වරූපය සහෘදයා අබියස මවා පෙන්වීම ට ය.
          හෙට දවසේ ඇයට දරු පැටවූ බලා ගැනීම ඇතැම් විට ගැටළුවක් ඇති විය හැකි වුවත් ඈ ස්වාමියාගේ සිත නො බිඳ තම ආත්ම විශ්වාසය ප‍්‍රකට කරනු ලබයි. මධ්‍යම පාන්තිකයන් ට උරුම වන ආර්ථිකමය හේතු සාධක මත සැමියා විදේශ ගත වන විට කාන්තාව හා දරුවන් සමාජයේ තනි වේ. එවැනි අවස්ථාවක දී ඇය ට මුහුණ පෑම ට සිදුවන ගැටළු බොහොමයක් වුව ද ඔවුහු ඒවා තම සිත් සන්තානය තුළ සඟවා ගනිමින් මෙ වැනි දුක්බර වෙන්ව යාමක ට මුහුණ පාති.
        එකී අවස්ථාවක් තේනුවරයන් සහෘද සිත දවන අයුරින් යට කී පරිදි පෙන්වා ඇත. වෙන් ව යාමේ දී දුටු තම බිරිඳගේ මුව මඩලේ කඳුළු බින්දු වියලී යාවි යන්න තුළින් පද රචකයා අරුත් ගැන්වා ඇත්තේ පුන් සඳක් වැනි තම බිරිඳගේ මුව මඩලේ කඳුළු බින්දු සක්වා ලිහිණින්ගේ වෙන්ව යාමේ හඬ ට මුසු වී වියලි ඇති බව යි. අලංකාරවත් යෙදුම් යොදා ගනිමින් එකී අවස්ථාව විරහ ව ජනනය කරමින් තේනුවරයන් පද බැඳුම ට ලක් කර ඇත.


ගැ: දොළොස්මහේ පහන පත්තුවෙලා හදවතේ..
                               
           
           තම දරුවන් වෙනුවෙන් හා තමන් වෙනුවෙන් විදේශ රටක මෙහෙවරක ට යන සැමියා ගැන මතකය බිරිඳ ට දොළොස්මහේ පහනක් මෙන් ය. එය සදාකාලය ට ම ආලෝකමත් ය. මේ අයුරින් දෙදෙනා වෙන්වන මොහොතේ අතිශයින් හැඟුම්බර බැවින් සැමියාගේ හද පත්ලෙහි ඇති සිතුවිලි අමිල තේනුවර මේ අයුරින් ගීයට නගා ඇත.


පි:   ඒ එළියෙන් මට පේනවා අපේ ආදරේ..
       ගිය ගමන් තැපැල් කරමි සඳ කිඳුරු ජාතකේ
       නො හඬන්න දේවියේ නො හඬන්න දේවියේ..
                               
              බිරිඳගේ පති භක්තිය පිළිබඳ උත්තරීතර ලියවිල්ල සඳ කිඳුරු ජාතකය යි. තම ආදරණිය බිරිඳ සමග සංසාරෙන් සංසාරය ට බැඳී එන සෙනෙහස මේ අවස්ථාවේ දී ඔහුගේ හද තුළ උද්දීපනය වේ. සඳ කිඳුරු ජාතකය තැපැල් කර එවීමෙන් සංකේතවත් කර ඇත්තේ තම පාදපරිචරිකාව පිළිබඳ කෘතගුණ මූලික කර ගත අපිරිමිත සෙනෙහසක් සැමියාගේ හදවතේ රැුඳී ඇති බව යි.
      තත්කාලීන සමාජයෙහි සිදුවන මෙ වැනි සිදුවීම්වල ට පාදකවන සමාජීය හා ආර්ථිකමය හේතු සාධක චිරන්තන සාහිත්‍යයේ එන අවස්ථා හා තම ගීතය ට මුසු කොට ගෙනහැර පාමින් ගී පද රචකයා ප‍්‍රයත්න දරා ඇත්තේ වත්මන් සමාජ ගැටලූ හේතුවෙන් වෙන් වීම ට සිදුවන අඹු සැමි දෙපලකගේ විප‍්‍රයෝගය සහෘද හද තුළ ගීතය තුළින් තැන්පත් කරලීම යි. මෙ වැනි අවස්ථා මගින් අමිල තේනුවරයන්ගේ ගී පද රචනාකරණයෙහි ඇති හැකියාව ද මනා ව ගම්‍යමාන වේ.


පි: නේරංජනාව ද මා මේ එතෙර ව ආවේ..
                               
                 
        තේනුවරයන් මවාපාන ආකාරය ට මෙය ද අභිනික්මනකි. ආධ්‍යාත්මික විමුක්තිය හා ලෝක සත්වයා ට සත්‍ය අවබෝධ කරලීම පතාගෙන සිද්ධාර්ථයන් එ දවස අභිනික්මන් කරන ලදී. නමුත් මෙහි එන සැමියා ට සිය බිරිඳ හා දරුවන් දමා අභිනික්මන් කරන්න ට සිදු වන්නේ ආර්ථික හා සමාජීය විමුක්තිය අරම්භයා ය.
       එ දවස කන්ථක අශ්වයා පිටින් නෙරන්ජනාව සිදුහත් තරණය කළා සේ ම, අද ඔහු ට ගුවන් යානයකින් සමුදුර තරණය කිරීම ට සිදු ව ඇත්තේ තම කුටුම්භය රැුකගනුවස් ය. සමාජය පුරා පැතිර පවතින මෙ වැනි සිද්ධි මාලාවක් නිරුපණය කරලීම උදෙසා තේනුවරයන් සිදුහත් යශෝදරා පෙම් පුවත ආදේශ කර ගැනීම තුළින් ගීතයේ අරුත සහෘද සිත් සතන් තුළට ඉතා තදින් ග‍්‍රහණය ට බඳුන්වන බව කිව හැකි ය.


ගැ:  යකඩින් ළය සදා තිබුණු අහස යන්තරේ..
       කන්ථක අසු මෙන් ළය පැලෙන්නෙ නෑ හිමි සඳුනේ
       මම නාඩා ඉන්නේ මම නාඩා ඉන්නේ..
                               

                 එදා සිදුහත් කුමරුගේ අභිනික්මනේ දී තිරිසන් සතෙකුගේ ළය උණු වී පැලී ගියේ ය. එහෙත් යකඩින් සාදා ඇති අහස් යන්තරයක ළය උණු නො වේ. ළය නො පැලේ. වත්මනෙහි මානව හදවත් පවා අසංවේදී වී ඇති ආකාරය රචකයා ඒ තුළින් සංකේතවත් කරයි. වෙන් වීමේ දුක ඔවුන් වි`ද ගත යුතු ම ය. ඔවුන් ගැන කඳුලක් ඔවුන් ම හෙලනු විනා සමාජය ඔවුන් වෙනුවෙන් කිසි දිනෙක කඳුළු නො හෙලති.
           මෙහි එන බිරිඳ කඳුළු සඟවා ගන්නී ය. ඒ තම කඳුළු සැලීමෙන් ඇයට සමාජීය, ආර්ථිකය සාධක ජය ගත නො හැකි බව ඇය දන්නා බැවිනි. සංසාරයේ පතාගෙන ආව යැයි පවසන ගීතයේ සිටින අඹු සැමි යුවලගේ විප‍්‍රයෝගය ට හේතුව මෙන් ම දරුවන් ට පියෙකුගේ සෙනෙහස අහිමි ව යාමට හේතු පාදක වන මෙම සමාජය, ආර්ථිකමය හා දේශපාලනික යන සාධක සමාජය තුළ පැතිර පවතින තාක් කල් ම වැනි වෙන් වීමේ වේදනාබර අවස්ථා අප සමාජය තුළ ඉදිරියටත් අසන්න ට ලැබෙනු ඇත.
                    සමාජ ශෝදනයක් අපේක්ෂාවෙන් කුටුම්භ ජීවිතයක පවතින යථා ස්වභාවයක් පාදක කර ගනිමින් මනහර ලෙස සිද්ධි දාමය චිත්ත රූප මැවෙන ආකාරයෙන් සහෘද සිත් තුළ නිරුපණය කරලීම ට තේනුවර ගත් ප‍්‍රයත්නය සාර්ථක වී ඇති බව කිව හැකි ය. එකී සාර්ථකත්වය උදෙසා ගී තනු නිර්මාණයෙන් හා ගායනයෙන් සහෘද හද තුළ ට මෙම අවස්ථාව සමීප කරලීම ට ගුණදාස කපුගේ කලාවේදියාගේ දායකත්වය හා ගායනයෙන් සහය වූ සමිතා එරන්දතියගේ දායකත්වය ද මෙම ගීතය සහෘදයා ට දැනවීමෙහි ලා සුවිශාල මෙහෙයක් ඉටු කර ඇති බැව් පෙන්වා දිය හැකි ය.

                    ස්වාභාවධර්මයේ නියමයන් ට අනුව සක්වා ලිහිණියෝ වෙන් ව ගොස් ඇත. ආර්ථික, සමාජීය, දේශපාලනික හා සංස්කෘතික සාධකයන්ගේ නියමයන් ට අනුව අඹු සැමියන් යට කී පරිදි වෙන් ව ගොස් ඇත. එය සමාජයේ පවතින යථාර්තය යි. ගීතය මගින් එහි අර්ථය මැනවවින් ප‍්‍රතිනිර්මාණය වේ. ඒ අනුව සමස්ථයක් වශයෙන් ගත් කල පෙර කී පරිදි සමාජ ශෝදනයක් අපේක්ෂාවෙන් නිර්මාණය තුළින් ඉටුවන සමාජ මෙහෙය පිළිබඳ ව කතිකාවතක ට බඳුන් කළහොත් ඒ සඳහා උපයුක්ත කර ගැනීම ට සුදුසු ගීතයක් ලෙස අමිල තේනුවර විසින් රචිත සක්වා ලිහිණි නම් ගීතය නම් කළ හැකි ය.

                 Dula..





No comments:

Post a Comment

හසරැල්ලේ ජනප්‍රියම ලිපි