හසරැල්ල කියවූ අය

Friday, June 30, 2017

ඇවැස්ස විවාහය ලාංකික සංස්කෘතිය ට එක් වූ ආකාරය..

     විවාහය යන්නෙන් අදහස් කරන්නේ ස්ත‍්‍රියක හා පුරුෂයෙකු අතර ඇතිවන නීතිමය, සදාචාරාත්මක හා ආත්මීය වූත් සබඳතාවකි. සමහරු විවාහය අර්තගන්වන්නේ එය ස්ත‍්‍රියකට හා පුරුෂයෙකුට නිත්‍යානුකුල ව ලිංගික ව හැසිරීම සඳහා බලපත‍්‍රයක් ලබා දීම ලෙසින් ය.තවත් අයගේ මතය වන්නේ විවාහය යනු අනාගත මිනිස් පරපුර අඛණ්ඩ ව පවත්වාගෙන යාමට විධි විධාන සැලස්වීමක් ලෙස ය.එහෙත් මේ වැනි අර්තගන්විම්වලට වඩා පුළුල් දෙයක් විවාහය තුල ඇත. එ නම් මිනිස් ජිවිතයේ අපුර්ව ම සබඳතාවය ලෙස විවාහය සලකනු ලබන්නේ දෙදෙනාගේ මනස, හෘදයරිආත්මය, සිරුර යන සාම අංශයකින් ම එකිනෙකා සමීපවන බැම්ම විවාහයවන බැවින් ය. යතෝක්තියේ සඳහන්වන පරිදි විවාහය පිලිබඳ ව අර්ථ ගන්වුවහොත් ලාංකික සමාජය තුල විවිධ වූ විවාහ ක‍්‍රමවේදයන් දැකගත හැකි ය. එ නම්,
              
  • දීග විවාහ
  • බින්න විවාහ
  • ඇවැස්ස විවාහ
  • බහු භාර්යා විවාහ
  • එකගෙයි කෑම 

                                  ආදී වශයෙනි.

    ඉහත දැක්වෙන විවාහ චාරිත‍්‍ර ක‍්‍රමවලින් ඇවැස්ස විවාහය යනු ලාංකික ජන සමාජය තුළ ඉතා ජනප‍්‍රිය ව පැවති විවාහ ක‍්‍රමයකි. ඇවැස්ස විවාහය පහත ආකාරයෙන් අර්ථ ගැන්විය හැකි ය.

    සිංහල ජන සමාජයේ ආවාහ විවාහ චාරිත‍්‍ර වාරිත‍්‍ර ප‍්‍රකාර විවාහයට අනුමත වූ එක ම ඥාති භාවය වූයේ ඇවැස්ස ඥාතිත්වය යි. මේ හැරුණු විට වෙනත් කිසිඳු ඥාතිත්ව ය උදෙසා අනුමත නො විණි. ඇවැස්ස ඥාතිභාවය ඉතා ආසන්න ඥාති සම්බන්ධතාවයක් විය. යමෙකුගේ පියාගේ සොහොයුරියගේ දුව හෝ, පුතා හෝ මවගේ සොහොයුරාගේ දුව හෝ, පුතා හෝ ඇවැස්ස නෑනා හෝ ඇවැස්ස මස්සිනා විය.

    ඇවැස්ස තරුණයෙකු හා තරුණියක නිසැකව ම ඔවුනොවුන් හා විවාහ පත්වීම සිංහල ජන සමාජයේ බහුලව ම සිදු වූ විවාහ ක‍්‍රමයක් වී ය. මේ ඥාති සබඳතාව පැහැදිලිව ම පෙනෙන අයුරින් එක්තරා ඥාති සහෝදරත්වයකි.එහෙත් ඥාති සහෝදර යැයි නො යෙදී මීට නෑනා මස්සිනා යනුවෙන් විශේෂ ඥාති නාම යෙදෙනුයේ මෙය විවාහය සඳහා තුඩු දුන් ඥාතිත්වයක් වූ බැවිණි. මේ කී ඇවැස්ස විවාහය සිංහල සමාජයේ හා සිංහල සංස්කෘතියේ කදිම විවාහ විධි ක‍්‍රමයක් ලෙස පෙන්වා දිය හැකි ය.

  ඇවැස්ස යන වදන අවශ්‍ය යන්නෙන් බිඳී ආ බව එකී ශබ්දාර්ථ අනුව පැහැදිලි කරගත හැකි ය. ශබ්දකෝෂවලදී ද  ඇවැස්ස යන්න අවශ්‍ය හෙවත් ඉතා සම්බන්ධ යනුවෙන් විග‍්‍රහකොට ඇත. අවශ්‍ය යන අර්ථයෙහි ලා අවශ්‍ය යන්න ද භාවිතයෙහි තිබූ බව අවශ්‍ය බෑණන් හෙයින්.... වැනිි සද්ධර්ම රත්නාවලියේ එන පාඨ වලින් අනාවරණය වේ. අවශ්‍ය යන්නෙන් බිඳී සැකසුන ද ඇවැස්ස යන්න මෙහි ඥාතිත්වය උදෙසා විනා වෙනත් පිණිස භාවිත වනු කිසි විටෙකත් දක්නට නො හැකි ය. නෑනා හැඳින්වීම සඳහා ඇවස්සි යන පදය ද භාවිත වේ. ඒ බැවින් මේ වදන මෙකී ඥාතිත්වය හා කෙතරම් බැඳී පවතින්නේ ද යන්න පැහැදිලි කරගත හැකි ය.

   සමාජ හා මානව විද්‍යාඥයන් විසින් විග‍්‍රහ කරන පරිදි විවාහය හා ඥාතිත්වය අතර ඥාති සම්බන්දතා සමාන්තර හා හරස් වශයෙන් කොටස් දෙකකට බෙදේ. පියාගේ සහෝදරයන් හා ඔවුන්ගේ දරුවෝ ද මවගේ සහෝදරියන් හා ඔවුන්ගේ දරුවෝ ද සමාන්තර ඥාතීහු වෙති. පියාගේ සහෝදරියන් හා ඔවුන්ගේ දරුවෝ සහ මවගේ සහෝදරයන් හා ඔවුන්ගේ දරුවෝ හරස් ඥාතීහු වූහ. සමාන්තර ඥාතීහු අතර විවාහ සබඳතා පැවැත්වීම සමාජය හෙලා දුටු ව්‍යභිචාරී තහංචියක් වූ අතර හරස් ඥාතීන් හෙවත් ඇවැස්ස විවාහය සඳහා සුදුසු බව සමාජය පිළිගත්තේ ය.

   ඇවැස්ස විවාහය සමස්ත සමාජය විසින් පිළිගන්න ලද බැවින් නෑනා හා මස්සිනා එළිපිට  ම සිය ආදරය ප‍්‍රකාශ කිරීමට පෙළබි ඇති ආකාරයත් නෑනා අයිති මස්සිනාට ය යන අදහස තුළ ඔවුන් නිදහසේ තම අදහස් හා අරමුණු ඉටු කර ගැනීමට පෙළඹුණු ආකාරයත් සිංහල ජන සංස්කෘතියේ විවිධ සාහිත්‍යාංග තුළින් දැකගත හැකි ය. ඇවැස්ස විවාහ ක‍්‍රමය උපයුක්ත කරගනිමින් ලාංකික ජන කවියා එය අනුමත කළේ ස්වභාවධර්මයෙන් ම සිදුවිය යුත්තක් ලෙසිනි. වැසි දිය සමුදුරටත්, මල් පැණි බඹරාටත් ස්වභාවධර්මයෙන් ම අයිතිවන බැවින් ජන කවියා විසින් නෑනා මස්සිනාට ම හිලවු කරන ලද්දේ ය.

  වැසි දිය අයිති ගං හෝ ඇළ                      සමුදුරටයි
  මල් පැණි අයිති වට ගුමු දෙන                   බඹරාටයි
  මී රා අයිති කිතුලේ කළ                           වැද්දාටයි
  නෑනා අයිති කාටද                                මස්සිනාටයි

    ඇවැස්ස නෑකම මුලික කරගනිමින් නෑනා මස්සිනාට ම හිමි කල ජනකවියා නෑනා කෙනෙක් නැති ව සිටින මස්සිනා ව ජන කවිය තුලින් හාස්‍යයට ලක් කරන ලදී.

 සාගතේ මොටද මිනිහෙක් සතෙක්                 නැතී
 මාවතේ මොටද ගමනට ඉමක්                       නැතී
 රා මතේ මොටද මග පෙරලූමක්                     නැතී
 ජිවිතේ මොටද නෑනා කෙනෙක්                     නැතී

    යතෝක්තයේ දැක්වෙන ජන කවි තුළින් විදහා දැක්වෙන්නේ ඇවැස්ස විවාහය යන්න එ කල ජන සමාජය තුළ සුලබ ව දක්නට ලැබුණු විවාහ ක‍්‍රමයක් බව යි. මහනුවර යුගය වන විට ඉතා ම සුදුසු විවාහය ලෙස පිලිගැනුනේ ඇවැස්ස විවාහය යි. එ මෙන් ම මධ්‍යකාලීන යුගය තුළ ද ලංකාවේ ඇවැස්ස විවාහය සුලභ ව දකින්නට ලැබුණි.

    මෙ වැනි කරුණු හේතුකොට ගෙන ලාංකික ජන සමාජය තුළ ඉතා ජනප‍්‍රිය ව පැවතුනු ඇවැස්ස විවාහය කුමනාකාරයෙන් ලාංකික ජන සමාජයට පැමිණියද හා ඒ තුළ අන්තර්ගත අන්තර් සංස්කෘතික ලක්ෂණ කෙබඳු දැයි අන්තර් සංස්කෘතික සන්නිවේදන න්‍යායන් තුළින් විශද කරලීම පහත දැක්වෙන අයුරින් පෙන්වා දිය හැකි ය.

    එකිනෙකට වෙනස් සංස්කෘතීන් තුළ ජිවත්වන මිනිසුන් එම සංස්කෘතීන් තුළ පවතින සංස්කෘතික ලක්ෂණවල විවිධත්වය නො තකමින් ඔවුනොවුන් අතර (සංස්කෘතීන් අතර) සන්නිවේදනය සිදුවන ආකාරය අධ්‍යයනය කිරීමේ විෂය ක්ෂේත‍්‍රයේ අන්තර් සංස්කෘතික සන්නිවේදනය ලෙස හැඳින්විය හැකි ය.

    ඇවැස්ස යන්නෙහි ඉතා ළඟ ම නෑකම් ඇති, ලේ උරුම යන අර්ථ ද වන බව සිංහල ශබ්දකෝෂයෙහි පෙන්වා දී ඇත. බුදුන් වහන්සේ හා සමග ඇවැස්ස ඥාතිත්වයක් තිබූ ථුල්ලතිස්ස නමැති තෙරුන් වහන්සේ අනෙකුත් තෙරුන් වහන්සේලා පිරිසක් සමග වූ ආරවුලක දී ඒ ඇවැස්ස භාවයෙහි අගය පැවසුයේ බුදුන්ට අවශ්යයෙමි...හැමගේත් අවශ්‍යකමක් ඇත්ද බුදුන්ගේ පිය රජ්ජුරුවොත් අපගේ මෑණියෝත් දෙභින්නෝ ය යනුවෙනි.                                                 
  (පැරණි සිංහල විවාහ සංස්කෘතිය - 169 පිටුව)
               
                 මහා වංශයෙහි සඳහන්වන පරිදි දකුණු ඉන්දියාවේ සාමාන්‍ය සිරිතක් වූ ඇවැස්ස විවාහය ශාක්‍ය වංශයේ පරම්පරා 3කට සිදු වූ බව සඳහන් වේ. (මධ්‍යකාලීන ලංකා සංස්කෘතිය - 1969)
     
       උක්ත නිදසුන් දෙකෙහි පැවසෙන පරිදි ඇවැස්ස විවාහය ඉන්දියානු සංස්කෘතිය තුල දී ගෞතම බුදුන්ගේ සමයේ සිට ද පැවත ආ විවාහ විධි ක‍්‍රමයක් බව ධ්වනිත වේ. එය පසක් කරනුවස් මෙවැනි නිදසුන් ද පෙන්වාදිය හැකි ය. සිදුහත් කුමරුවන් සරණ පාවාගත් යශෝධරා කුමරිය එතුමන්ගේ නෑනණ්ඩිය වූවා ය. මෙකී විවාහය තීරණය කරනු ලැබුයේ ඔවුන් බිලිඳු අවදියේ ම ය. සුද්ධෝධන රජු තම නැගණියන්ට දුවක ලද බව අසා මයේලි මපුතුතනුවන්ට මතු අගමෙහෙසුන් වේවා යි කියූ කරුණෙන් පැහැදිලි වේ. 
      
     පසු ව පියරජුන් විසින් නැගණියන් වැදු දියණියන් හෙයින් හිමිකම් බැණ ගිවිස්වා මගුල්කොට පාවා දුන් අයුරු විස්තර වන්නේ ය. සුද්ධෝදන රජුන් හා විවාහ වූ මහාමායා දේවියප‍්‍රජාපතී ගෝතමී දේවිය ද රජුගේ ඇවැස්ස නෑනාවරුන් වූහ. එ පමණක් නොව ඔවුන්ගේ ඊට පෙර පරම්පරාවේ සුද්ධෝදන රජුගේ පියාණන් වූ සිංහහනු රජු අංජන රජුගේ සොහොයුරිය වූ යශෝදරා නම් කුමරියක් සමග ද අංජන රජු සිංහහනු රජුගේ සොහොයුරිය වූ කච්චායනා නම් කුමරිය සමග ද ඇවැස්ස ඥාතිත්වය මත විවාහ වී සිටියෝ ය.
ශාක්‍ය, කෝලිය රජ පරම්පරා දෙක අතර නිරන්තරයෙන් ම සිදු වී තිබුණේ ඇවැස්ස විවාහ බව ඉතිහාස කතා තුළින් අනාවරණය වේ. 
       
         තව ද කෝලිය නුවර විසූ ප‍්‍රියා නම් බිසව සිය පුතුන් දෙතිස කැඳවා කීවේ කපිල පුරයෙහි රජ කරන සිව් බෑ රජුහු මාගේ මල් බාණෝ ය. ඒ කරණයෙන් තොපගේ මයිලෝ ය. උන් සතරදෙනාගේ දුවරු දෙතිස් දෙනෙක් ඇත. උන් තොපගේ බැදෑවූ ය. තොපි සැම සුරු නම් තොප බැඳවුන් රක්ෂා කරව යනුවෙනි.
  (පැරණි සිංහල විවාහ සංස්කෘතිය - 101 පිටුව)

         රෝහිණී ගංගාවේ ජලය නිසා ශාක්‍ය, කෝලිය රජ දරුවන් යුද්දයට සැරසුණු කාලයේ දෙනුවර ඇවැස්ස ඥාතිත්වය මත බොහෝ කුමාරිකාවන් විවාහ වී හුවමාරු වී ඇත. යට කියන ලද මෙ වැනි අවස්ථාවන් තුළින් ද ධ්වනිතර්තවත් වන්නේ ඇවැස්ස ඥාතිත්වය යන්න භාරතීය සංස්කෘතීන් එ කල බොහෝ ජනප‍්‍රිය ව පැවත ඇති බව යි.
        
       තව ද පසේනදී කෝසල රජුන් සිය නැගණියන්ගේ පුත‍්‍රයා වූ අජාසත් රජුට සිය දියණියන් වූ වජිරා කුමරිය පාවා දුන්නේ ඔහු සිය ඇවැස්ස බෑණා වූ හෙයිනි. එ මෙන් ම කුසිනාරා නුවර මල්ල රජුන් බන්ධුල සේනාපතියන්ට ඇවැස්ස ඥාතිත්වය මත සිය දියණිය මල්ලිකාවන් පාවා දීම සඳහා ඔහුට අභියෝගයක් ඉදිරිපත් කළ අයුරු ද ඉතිහාස කතා තුළ දක්නට ඇත.
      
         එ ලෙස ම සද්ධර්මරත්නාවලියේ නන්දික උපාසකයන්ගේ කතා වස්තුවෙහි ද මෙ ලෙස ඇවැස්ස ඥාතිත්වය මුල්කොට ගනිමින් විවාහ වී ඇති ආකාරය දක්නට ලැබේ. නන්දික වැඩිවියට පැමිණි කල්හි ලං ව තිබෙන ගෙයක හිඳිනා මයිලනු කෙනෙකුගේ දු වූ රේවතී නම් තරුණියක සරණ ගෙන ඒමට කටයුතු කෙරුණි.
           
        මහාලී ප‍්‍රශ්න වස්තුවෙහි සුජාතා ප‍්‍රකාශ කරන මං මේ මඝ මානවකයන්ට සෙස්සවුන් සේ නො වෙමි. නැදි මයිල් සරණ ය යනුවෙන් සඳහනක් දක්නට ඇත.ඒ තුළින් විසද වන්නේ සිය සැමියා මස්සිනා වූ බව යි. තව ද ධම්මපදට්ට කතාවෙහි මඝ මානවකයා සිය මයිලනුවන්ගේ දියණියන් සුජාතා හා සමග විවාහ වූ බව සඳහන් වීමෙන් මෙය නිසැකව ම ඇවැස්ස විවාහයක් වූ බව තහවුරු වන බව ද දැකගත හැකි ය.
             
        මතු දැක්වෙන සියලූ ම තොරතුරු හා කාර්යයන් පසක්වනු ලබන්නේ අතීතයේ දී භාරතීය සංස්කෘතිය තුළ ඇවැස්ස විවාහය ඇවැස්ස ඥාතිත්වය හෙවත් නෑනා මස්සිනා විවාහය මගින් සිදු වුණු බවයි.

       එ මෙන් ම මහා වංශයේ දැක්වෙන තොරතුරුවලට අනුව සුප්පා දේවිය සිංහයාගේ මරණින් පසු විවාහ ප‍්‍රාප්ත වූයේ සිය ඇවැස්ස මස්සිනා වූ සෙනෙවියා සමග ය. අශෝක අධිරාජ්‍යයාගේ දියණියක් වූ සංඝමිත්තා කුමරිය සිය මස්සිනා වූ අග්නි බ‍්‍රහ්මයන් සමග පාණිග‍්‍රහණයට පත් වූවා ය. ධම්මපදට්ට කතාවෙහි එන සඳහනකට අනුව ආනන්ද නම් යෞවනයෙකු සිය පියාගේ සොහොයුරියගේ දියණිය වූ උත්පලවණ්ණා පාවා ගැනීමට උත්සුක වූ අයුරු ද මහාවංශයේ හෙළිදරව් වේ. ඒ අනුව ද දැක ගත හැකි වනුයේ ජාතක කතා හා වෙනත් තොරතුරුවල ඇවැස්ස විවාහය පිළිබඳ බොහෝ සෙයින් කරුණු සඳහන්වන බවයි.
                       
       තව ද සද්ධර්මරත්නාවලියෙහි දැක්වෙන මාගේ මලූන් හෙයින් තොපගේ මයිලෝ ය...උන්ගේ දු ඇත්නම් තොපට බිසෝ කරව යි යන සඳහන මෙන් ම අවශ්‍ය බෑණන් හෙයින් ගෙන්වා පාවා දුන මනා තැන කළ දෑ ම යහපති යන සඳහන අනුව ද ගම්‍ය වන්නේ ඉන්දියානු සමාජයේ එ කල ඇවැස්ස විවාහය නිසැක ව ම කළ යුතු වූ චාරිත‍්‍රයක් ව පැවති බව තහවුරුවන බව යි.
                       
          ඉන්දියානු භාරතීය සංස්කෘතියෙහි මෙන් ම ලාංකීය සංස්කෘතිය තුළ ද ඇවැස්ස විවාහය තිබූ බව ඉපැරණි ලාංකික සාහිත්‍යය හෙළිදරව් කරන ආකාරයක් දැක ගත හැකි ය. ඒ තුළින් විශද වනු ලබන්නේ අන්තර් සංස්කෘතික ලක්ෂණ බව ද කිව හැකි ය. මන්ද යත් ලාංකික සංස්කෘතියට ඇවැස්ස විවාහය පැමිණෙන්නේ ඉන්දියානු සංස්කෘතිය හේතුකොට ගෙන යැයි යට කී තොරතුරු අනුව පෙන්වා දිය හැකි ය.

      එ නම් මහා වංශයේ දැක්වෙන පරිදි දීඝගාමිණී කුමරු පාවා ගත්තේ සිය නෑනණ්ඩිය වූ උන්මාද චිත‍්‍රවෝ ය. ඔවුන්ගේ පුත‍්‍රයාණන් වූ පණ්ඩුකාභය කුමරු සිය මයිලණු ගිරිඛන්ඩශිවගේ දියණිය වූ පාලි කුමරිය සිය මෙහෙසිය කොටගත්තෝ ය. ලාංකික ජන සමාජයේ මුල් කාලීන ව රජ කළ රජවරුන් ද මේ අයුරින් සිය අගමෙහෙසිය කරගනු ලැබුයේ සිය නෑනාවරුන් බව මයින් ඉස්මතු වී පෙනේ.

        සිංහල ජන සමාජයේ පැවතී එක්තරා පැරණි  වනුයේ තරුණියන් දෙතුන්දෙනෙකු සිටින පවුලක ඇවැස්ස මස්සිනා කෙනෙකු වැඩිමහල් තරුණිය විවාහ කර ගතහොත් වෙන ඇවැස්ස මස්සිනා කෙනෙකුන් නැත්නම් බාල සොහොයුරියන් ද ඔහු විසින් ම විවාහ කර ගැනුණි. මෙය දේපළ පිට නො යනු පිණිස ගත ක‍්‍රියා මාර්ගයක් යැයි සිතිය හැකි ය. එ කල සුද්ධෝදන රජුන් සහෝදරියන් දෙදෙනෙකු මහාමායා හා ප‍්‍රජාපතී ගෝතමී දේවිය යන කුමාරිකාවන් වන තම නෑනාවරුන් විවාහ කර ගත්තේ දේපළ යන සාධකය හේතුකොට ගෙන නො ව ඇවැස්ස ඥාතිත්වය රීතියක් නිසා බව ද ඉතිහාසය සාක්ෂි දරා ඇත.

       ඉන්දියානු ජන සමාජයේ මෙන් ම කාන්කික ජන සමාජය තුළ ද නෑනා මස්සිනා විවාහය සමාජය තුළ කිඳා බස තිබූ ආකාරය සිංහල ජන කවිවල එන නෑනා අයිති කාටද මස්සිනාටයි,ජිවිතේ මොටද නෑනා කෙනෙක් නැතී වැනි කවි පද මෙන් ම සිංහල ප‍්‍රස්ථාව පිරුළු අතුරෙහි එන නෑනයි මස්සිනයි වගේනෑනගේ මල්වර මගුල දා වගේ, නෑනා අත වනන්නා වගේ වැනි පිරුළු ද ඇවැස්ස විවාහය නියත සිංහල චාරිත‍්‍රයක් වූ බවට සාක්ෂි දරයි.

       මේ කී ඇවැස්ස විවාහය පිළිබඳ මෙ රට මේ තරම් දැඩි ව මුල් බස ගෙන තිබුන ද එය කෙ ලෙස මෙකී ලාංකික සමාජය තුළ ට පැමිණියේ ද යන්න සොයා බැලීමේ දී ඉහත සඳහන් තොරතුරුවලට අනුව එය භාරතීය සංස්කෘතියෙන් මෙ රටට පැමිණ ඇති ආකාරය දැකගත හැකි ය.

     දකුණු ඉන්දියානු සංස්කෘතියෙහි විවාහය පිළිබඳ ව විවිධ වූ තහංචි පැනවී තිබුන ද එ කළ සිට ම ඇවැස්ස ඥාති විවාහය සම්මත චාරිත‍්‍රයක් විය.ඉන්දියානු බ‍්‍රාහ්මණ වංශිකයන් අතර ද ඇවැස්ස විවාහය චාරිත‍්‍රයක් ව පවතී අතර එම වංශයේ තරුණයා හෝ තරුණිය හෝ වෙනත් පේ‍්‍රම සම්බන්ධතාවයක බැඳී සිටිය ද පිටස්තරයෙකුට පොරොන්දු දී සිටිය ද එය අතහැර ඇවැස්ස විවාහය ට එකඟ වීමට ද සිදු විය.

   යට කියන ලද දකුණු ඉන්දියානු, බ‍්‍රාහ්මණ වංශික චාරිත‍්‍ර හා සිංහල චාරිත‍්‍ර අතර බොහෝ සෙයින් සමානුරූපී ලක්ෂණ දක්නට ඇති බව පෙනේ. ඒ තුළින් අන්තර් සංස්කෘතික ලක්ෂණ ද විදහා දැක්වේ. අවශ්‍ය ඥාති විවාහ ක‍්‍රමය මගින් කුල  දුෂණය වලකා ගැනීමට මෙන් ම සිය පවුල් සතු වතුපිටි, දේපළ ඇතුළු වත්පොහොසත්කම් සිය පවුල් තුළ ම දිගින් දිගට ම රැුක ගැනීමට උත්සාහ ගැනුණු බව ද ඒ තුළින් පිළිගත හැකි ය.
                      
     ඒ අනුව යතොක්තයේ දැක්වෙන පරිදි ඇවැස්ස විවාහය භාරතීය සංස්කෘතියෙන් මේ රටට පැමිණි අන්තර් සංස්කෘතිකාංගයන්ගෙන් හෙබි විවාහ විධි ක‍්‍රමයක් බව මෙසේ විග‍්‍රහ කළ හැකි ය.

              Dula

   

ආදරය, මායාව සහ රැවටීම.

    ආදරය පුදුමාකාරය. එහි අර්ථය කෙබඳුදැයි විග‍්‍රහ කරන්න ට ලොව කිසිවෙකුටවත් නොහැකි ය. ආදරය ජීවිතය හා බැඳී පවතිනැයි කිව හැකි ය. ආදරය කුමන ආකාරයෙන් කා හට හෝ කවුරුන් කෙරෙහි හෝ ඇති විය හැකි ය. නමුත් අපි එලෙස ආදරය කරන්නා වූ සෑම පුද්ගලයකුම අපට ආදරය කරන්නේ නැත. එක් අයෙක් වෙනුවෙන් අප සිත තුළ හට ගන්නා වූ ආදරණීය හැගිම් තුළින් අපි ඒ පුද්ගලයා දෙස ආදරණීය ලෙස බැලීම ට පුරුදු වේ. එම හැගිම්, බැලීම් තුළින් අප චිත්ත අභ්‍යන්තරයේ හට ගන්නා වූ සිතුවිලි අනෙකාට හැදින ගැනීම ට හැකි වේ. ඔවුන් ද අප දෙස එලෙස ම බලයි. නමුත් ඔවුන් අප හැගීම් නොතේරුනා සේ කල් ගෙවයි. එවන් අවස්ථා තුළ අප හද ට දැනෙන වේදනාව වචනයෙන් විස්තර කළ නොහැකි ය. නමුත් ඒ වේදනාව තුළ ගැබ් වී ඇති අහිංසක හැගීම් ගැන අප හැර කවුරු දනිත් ද? මෙලෙස අපි ආදරය කරන ඔවුන් අප හා මුසු වන්නේ අප ගැන ඔවුන්ගේ සිත තුළ ද ආදරයක් ඇති ආකාරයෙනි. නමුත් එය සත්‍ය නොවේ. එය මායාවකි. අපි එය සත්‍ය ආදරයක් යැයි සිතා රැවටේ. ආදරයේ එක් පැතිකඩක යථාර්ථය මෙය නොවේද?



       Dula..



සක්වා ලිහිණි ගීතය විචාරය

ගැ:දඬු මොනර පිටින් ගිහින් එන්න පෙම්බර ස්වාමි
දරු පැටවු බලා ඉන්නම් ඔබ නමින් ම පේවී..

පි:පුන් සඳ කොපුලත කඳුළු බිංදු වියලී යාවි
අපේ හඬ අරගෙන ඈත හඬන සක්වා ලිහිණි..

ගැ:දොළොස්මහේ පහන පත්තුවෙලා හදවතේ

පි:ඒ එළියෙන් මට පේනවා අපේ ආදරේ..
ගිය ගමන් තැපැල් කරමි සඳ කිඳුරු ජාතකේ
නො හඬන්න දේවියේ නො හඬන්න දේවියේ..

දඬු මොනර පිටින්..

පි:නේරංජනාව ද මා මේ එතෙර ව ආවේ

ගැ:යකඩින් ළය සදා තිබුණු අහස යන්තරේ..
කන්ථක අසු මෙන් ළය පැලෙන්නෙ නෑ හිමි සඳුනේ
මම නාඩා ඉන්නේ මම නාඩා ඉන්නේ..

දඬු මොනර පිටින්..

 පද රචනය -  අමිල තේනුවර
 සංගීතය    -   ගුණදාස කපුගේ
 ගායනය   -   ගුණදාස කපුගේ/ සමිතා එරන්දතී


                 ”මිනිසා විසින් සාක්ෂාත් කරගනු ලබන උත්තරීතර වූ මිනිස් හැඟීම් සහෘදයාට සම්පේ‍්‍රෂණය කරනු ලබන්නේ කලාව මගිනි.”යන ලියෝ තෝල්ස්තෝයිගේ අදහසට අනුව ධ්වනිත වන්නේ කලාව තුළින් සමාජ මෙහෙවරක් ඉටු කරන බවයි. එ කී අවශ්‍යතාවය සාක්ෂාත් කරගනු වස් බිහි වී ඇති විවිධ මාධ්‍ය අතරින් ගීතය ට හිමිවනුයේ ප‍්‍රමුඛතම ස්ථානයකි.
          වත්මන් කලා ලෝකයේ නිශ්චිත හැඩයක් අහිමි ව ගොස් ඇති ගීතය සියලූ ම කලාවන්ගේ  මුඛ්‍ය පරමාර්ථය වන මිනිසාගේ රස භාවයන් කම්පනය කරමින් සෞන්දර්යාත්මක රසවින්දනයක් සහෘදයා ට ලබා දෙනු ලබයි. ගීතය නිර්මාණය වනුයේ සාහිත්‍යය යන කලා මාධ්‍යය ට සංගීතය මනා ව සුසන්යෝජනය වීමෙනි. ගීතය උසස් කළා නිර්මාණයක් බව ට පත් වීම ට එහි පද මාලාව, තනු නිර්මාණය හා ගායනය ද එක සේ වැදගත් වේ. මින් එකක් හෝ දුර්වල වූ තැන ගීතය සාර්ථක නිර්මාණයක් නො වන්නේ ය.
                                මේ අයුරින් බිහිවන ගීතය සහෘදයා ට ඉතා සමීප කලා මාධ්‍යයක් වන බැවින් ඒ තුළින් සමාජ ශෝදනයක් අපේක්ෂාවෙන් සමාජය තුළ පවතින එක් ගැටළුකාරී තත්වයක සේයාවක් සහෘද සිත් සතන් තුළ ප‍්‍රතිනිර්මාණය කිරීමෙහි ලා ගත් ප‍්‍රයත්නයක් වශයෙන් බිහි ව ඇති ගීතයක් වශයෙන් ”සක්වා ලිහිණි” නම් ගීතය නම් කළ හැකි ය. සමාජය තුළ මතවාද ගොඩනැගීම ට සමත් ගීතයක් හෝ සමාජය තුළ පවතින ගැටළු කතිකාවතකට බඳුන් කළ හැකි ගීතයක් වේ නම් එ කී ගීතය විරෝධාකල්ප ගීත මධ්‍යයෙහි ලා ගැනිය හැකි ය.
          ඒ අනුව අමිල තේනුවර නම් ප‍්‍රතිභාපූර්ණ ගී පද රචකයා විසින් රචිත, ගුණදාස කපුගේ නම් අසහාය කලාකරුවා විසින් සංගීතවත් කරන ලද, ඔහු හා සමිතා එරන්දතී විසින් පද බැ`දුම ට ගායනයෙන් පණ පොවන මෙම සක්වා ලිහිණි නම් ගීතය ද සමාජීය ගැටලූවක් ධ්වනිථාර්ථවත් කරන විරෝධාකල්ප ගීතයක් වශයෙන් පෙන්වාදිය හැකි ය.
                                හැත්තෑ හත දශකයේ දී කවියෙකු, කෙටිකතා රචකයෙකු, ගීත රචකයෙකු ලෙස සාහිත්‍ය ලොවට පා තබන අමිල තෙනුවරයන් විසින් රචිත සක්වා ලිහිණි නම් ගීතයෙහි ප‍්‍රස්තුතය වී ඇත්තේ කුටුම්භ ජීවිතය තුළ පවතින ආර්ථික අහේනිය හේතුවෙන් තම බිරිඳ හා දරුවන් දමා විදේශයක ට පිටත් ව යන සැමියෙකු හා ඔහුගේ බිරිඳ අතර ඇතිවන සංවේගාත්මක හැඟුම් සමුදායකි. මෙම ගීතය යුග ගීතයකි. එනම් සැමියා හා බිරිඳ විසින් එකිනෙකා ට තම හැඟීම් පවසාගන්නකි. එකී හැඟීම් සමුදායේ මුල් අදියර අමිල තේනුවර මෙසේ අරුත් ගන්වා ඇත.


ගැ:  දඬු මොනර පිටින් ගිහින් එන්න පෙම්බර ස්වාමි
       දරු පැටවු බලා ඉන්නම් ඔබ නමින් ම පේවී..
පි:    පුන් සඳ කොපුලත කඳුළු බිංදු වියලී යාවි
       අපේ හඬ අරගෙන ඈත හඬන සක්වා ලිහිණි..
                               

         සක්වා ලිහිණියන් යනු එක් ලිහිණි විශේෂයකි. ඔවුහු දවල් කාලයේ දී පෙම්වතුන් ලෙස එකට සිට රාත‍්‍රියේ සඳ පායනවා හා සමඟ ඉවුරු දෙ පසට විසිරී යතී. මෙම ගීතයේ එන ස්වාමි පුරුෂයා ත් තම බිරිඳගෙන් හා දරුවන්ගෙන් වෙන් වී විදේශයක ට යාම ට සැරසේ. එහි දී ඔවුන් හද තුළ විප‍්‍රයෝගයේ වේදනාව කොතෙකුදු දැනෙනවා ද යන්න කාට කිව හැකි ද?
          එවන් විරහවක් සක්වා ලිහිණියන් ද තම වෙන්වීමේ දී සදාකාලික ව ම විඳිනවා වන්න ට ඇත. විප‍්‍රයෝගයේ වේදනාව මෙහි එන බිරිඳ හා ස්වාමියා අතර කොපමණ දැනෙනවා ද කිවහොත් එය පද ලෙසින් අරුත් ගැන්වීමට ගී පද රචකයා සක්වා ලිහිණින්ගේ සැබෑ ජිවිත ක‍්‍රියාකාරීත්වය මෙයට යොදා ගනිමින් ගීතය සුසංයෝගයෙන් සහෘදයාට දැනෙන අයුරින් පෙන්වා දෙනු ලබයි. සක්වා ලිහිණින්ගේ හඬා වැටීම විරහ විරහනියන්ගේ හඬා වැටීම ට බෙහෙවින් සමාන බැවින් මෙම ස්වාභාවධාර්මික සිද්ධාන්තය තත්කාලීන සමාජ, දේශපාලන, ආර්ථික, තලය මත ස්ථාපිත කරලීම ට තේනුවරයන් ගත් ප‍්‍රයත්නය අගයකොට දැක්විය හැකි ය.
                ගීතය තුළ ප‍්‍රථමයෙන් හඳුන්වන්නේ ආර්ථිකය ජය ගැනීම ට දුර රටක ට යාම ට සැරසෙන තම සැමියා ට දුක සඟවාගෙන ඔහුගේ චිත්ත ධෛර්යය වඩවමින් ඔහු ට සුබ පතන බිරියකි. සැමියා ඇගෙන් වෙන් ව යන මොහොතේ ඈ තුළ ඇතිවන මනෝභාවය තුළින් රචකයා උත්සුක වී ඇත්තේ ලාංකික ජන සමාජයේ මෙ වැනි අවස්ථාවන් ට මුහුණ දෙන මධ්‍යම පාන්තික කාන්තාවකගේ යථා ස්වරූපය සහෘදයා අබියස මවා පෙන්වීම ට ය.
          හෙට දවසේ ඇයට දරු පැටවූ බලා ගැනීම ඇතැම් විට ගැටළුවක් ඇති විය හැකි වුවත් ඈ ස්වාමියාගේ සිත නො බිඳ තම ආත්ම විශ්වාසය ප‍්‍රකට කරනු ලබයි. මධ්‍යම පාන්තිකයන් ට උරුම වන ආර්ථිකමය හේතු සාධක මත සැමියා විදේශ ගත වන විට කාන්තාව හා දරුවන් සමාජයේ තනි වේ. එවැනි අවස්ථාවක දී ඇය ට මුහුණ පෑම ට සිදුවන ගැටළු බොහොමයක් වුව ද ඔවුහු ඒවා තම සිත් සන්තානය තුළ සඟවා ගනිමින් මෙ වැනි දුක්බර වෙන්ව යාමක ට මුහුණ පාති.
        එකී අවස්ථාවක් තේනුවරයන් සහෘද සිත දවන අයුරින් යට කී පරිදි පෙන්වා ඇත. වෙන් ව යාමේ දී දුටු තම බිරිඳගේ මුව මඩලේ කඳුළු බින්දු වියලී යාවි යන්න තුළින් පද රචකයා අරුත් ගැන්වා ඇත්තේ පුන් සඳක් වැනි තම බිරිඳගේ මුව මඩලේ කඳුළු බින්දු සක්වා ලිහිණින්ගේ වෙන්ව යාමේ හඬ ට මුසු වී වියලි ඇති බව යි. අලංකාරවත් යෙදුම් යොදා ගනිමින් එකී අවස්ථාව විරහ ව ජනනය කරමින් තේනුවරයන් පද බැඳුම ට ලක් කර ඇත.


ගැ: දොළොස්මහේ පහන පත්තුවෙලා හදවතේ..
                               
           
           තම දරුවන් වෙනුවෙන් හා තමන් වෙනුවෙන් විදේශ රටක මෙහෙවරක ට යන සැමියා ගැන මතකය බිරිඳ ට දොළොස්මහේ පහනක් මෙන් ය. එය සදාකාලය ට ම ආලෝකමත් ය. මේ අයුරින් දෙදෙනා වෙන්වන මොහොතේ අතිශයින් හැඟුම්බර බැවින් සැමියාගේ හද පත්ලෙහි ඇති සිතුවිලි අමිල තේනුවර මේ අයුරින් ගීයට නගා ඇත.


පි:   ඒ එළියෙන් මට පේනවා අපේ ආදරේ..
       ගිය ගමන් තැපැල් කරමි සඳ කිඳුරු ජාතකේ
       නො හඬන්න දේවියේ නො හඬන්න දේවියේ..
                               
              බිරිඳගේ පති භක්තිය පිළිබඳ උත්තරීතර ලියවිල්ල සඳ කිඳුරු ජාතකය යි. තම ආදරණිය බිරිඳ සමග සංසාරෙන් සංසාරය ට බැඳී එන සෙනෙහස මේ අවස්ථාවේ දී ඔහුගේ හද තුළ උද්දීපනය වේ. සඳ කිඳුරු ජාතකය තැපැල් කර එවීමෙන් සංකේතවත් කර ඇත්තේ තම පාදපරිචරිකාව පිළිබඳ කෘතගුණ මූලික කර ගත අපිරිමිත සෙනෙහසක් සැමියාගේ හදවතේ රැුඳී ඇති බව යි.
      තත්කාලීන සමාජයෙහි සිදුවන මෙ වැනි සිදුවීම්වල ට පාදකවන සමාජීය හා ආර්ථිකමය හේතු සාධක චිරන්තන සාහිත්‍යයේ එන අවස්ථා හා තම ගීතය ට මුසු කොට ගෙනහැර පාමින් ගී පද රචකයා ප‍්‍රයත්න දරා ඇත්තේ වත්මන් සමාජ ගැටලූ හේතුවෙන් වෙන් වීම ට සිදුවන අඹු සැමි දෙපලකගේ විප‍්‍රයෝගය සහෘද හද තුළ ගීතය තුළින් තැන්පත් කරලීම යි. මෙ වැනි අවස්ථා මගින් අමිල තේනුවරයන්ගේ ගී පද රචනාකරණයෙහි ඇති හැකියාව ද මනා ව ගම්‍යමාන වේ.


පි: නේරංජනාව ද මා මේ එතෙර ව ආවේ..
                               
                 
        තේනුවරයන් මවාපාන ආකාරය ට මෙය ද අභිනික්මනකි. ආධ්‍යාත්මික විමුක්තිය හා ලෝක සත්වයා ට සත්‍ය අවබෝධ කරලීම පතාගෙන සිද්ධාර්ථයන් එ දවස අභිනික්මන් කරන ලදී. නමුත් මෙහි එන සැමියා ට සිය බිරිඳ හා දරුවන් දමා අභිනික්මන් කරන්න ට සිදු වන්නේ ආර්ථික හා සමාජීය විමුක්තිය අරම්භයා ය.
       එ දවස කන්ථක අශ්වයා පිටින් නෙරන්ජනාව සිදුහත් තරණය කළා සේ ම, අද ඔහු ට ගුවන් යානයකින් සමුදුර තරණය කිරීම ට සිදු ව ඇත්තේ තම කුටුම්භය රැුකගනුවස් ය. සමාජය පුරා පැතිර පවතින මෙ වැනි සිද්ධි මාලාවක් නිරුපණය කරලීම උදෙසා තේනුවරයන් සිදුහත් යශෝදරා පෙම් පුවත ආදේශ කර ගැනීම තුළින් ගීතයේ අරුත සහෘද සිත් සතන් තුළට ඉතා තදින් ග‍්‍රහණය ට බඳුන්වන බව කිව හැකි ය.


ගැ:  යකඩින් ළය සදා තිබුණු අහස යන්තරේ..
       කන්ථක අසු මෙන් ළය පැලෙන්නෙ නෑ හිමි සඳුනේ
       මම නාඩා ඉන්නේ මම නාඩා ඉන්නේ..
                               

                 එදා සිදුහත් කුමරුගේ අභිනික්මනේ දී තිරිසන් සතෙකුගේ ළය උණු වී පැලී ගියේ ය. එහෙත් යකඩින් සාදා ඇති අහස් යන්තරයක ළය උණු නො වේ. ළය නො පැලේ. වත්මනෙහි මානව හදවත් පවා අසංවේදී වී ඇති ආකාරය රචකයා ඒ තුළින් සංකේතවත් කරයි. වෙන් වීමේ දුක ඔවුන් වි`ද ගත යුතු ම ය. ඔවුන් ගැන කඳුලක් ඔවුන් ම හෙලනු විනා සමාජය ඔවුන් වෙනුවෙන් කිසි දිනෙක කඳුළු නො හෙලති.
           මෙහි එන බිරිඳ කඳුළු සඟවා ගන්නී ය. ඒ තම කඳුළු සැලීමෙන් ඇයට සමාජීය, ආර්ථිකය සාධක ජය ගත නො හැකි බව ඇය දන්නා බැවිනි. සංසාරයේ පතාගෙන ආව යැයි පවසන ගීතයේ සිටින අඹු සැමි යුවලගේ විප‍්‍රයෝගය ට හේතුව මෙන් ම දරුවන් ට පියෙකුගේ සෙනෙහස අහිමි ව යාමට හේතු පාදක වන මෙම සමාජය, ආර්ථිකමය හා දේශපාලනික යන සාධක සමාජය තුළ පැතිර පවතින තාක් කල් ම වැනි වෙන් වීමේ වේදනාබර අවස්ථා අප සමාජය තුළ ඉදිරියටත් අසන්න ට ලැබෙනු ඇත.
                    සමාජ ශෝදනයක් අපේක්ෂාවෙන් කුටුම්භ ජීවිතයක පවතින යථා ස්වභාවයක් පාදක කර ගනිමින් මනහර ලෙස සිද්ධි දාමය චිත්ත රූප මැවෙන ආකාරයෙන් සහෘද සිත් තුළ නිරුපණය කරලීම ට තේනුවර ගත් ප‍්‍රයත්නය සාර්ථක වී ඇති බව කිව හැකි ය. එකී සාර්ථකත්වය උදෙසා ගී තනු නිර්මාණයෙන් හා ගායනයෙන් සහෘද හද තුළ ට මෙම අවස්ථාව සමීප කරලීම ට ගුණදාස කපුගේ කලාවේදියාගේ දායකත්වය හා ගායනයෙන් සහය වූ සමිතා එරන්දතියගේ දායකත්වය ද මෙම ගීතය සහෘදයා ට දැනවීමෙහි ලා සුවිශාල මෙහෙයක් ඉටු කර ඇති බැව් පෙන්වා දිය හැකි ය.

                    ස්වාභාවධර්මයේ නියමයන් ට අනුව සක්වා ලිහිණියෝ වෙන් ව ගොස් ඇත. ආර්ථික, සමාජීය, දේශපාලනික හා සංස්කෘතික සාධකයන්ගේ නියමයන් ට අනුව අඹු සැමියන් යට කී පරිදි වෙන් ව ගොස් ඇත. එය සමාජයේ පවතින යථාර්තය යි. ගීතය මගින් එහි අර්ථය මැනවවින් ප‍්‍රතිනිර්මාණය වේ. ඒ අනුව සමස්ථයක් වශයෙන් ගත් කල පෙර කී පරිදි සමාජ ශෝදනයක් අපේක්ෂාවෙන් නිර්මාණය තුළින් ඉටුවන සමාජ මෙහෙය පිළිබඳ ව කතිකාවතක ට බඳුන් කළහොත් ඒ සඳහා උපයුක්ත කර ගැනීම ට සුදුසු ගීතයක් ලෙස අමිල තේනුවර විසින් රචිත සක්වා ලිහිණි නම් ගීතය නම් කළ හැකි ය.

                 Dula..





අනුරපුර භාෂාව උගනිමු..

         මිනිස් වර්ගයා සෙසු සත්ත්වයන්ගෙන් වෙන් කොට හඳුනා ගැනීම ට ආධාර වන ප‍්‍රධාන ලක්ෂණයක් නම් ඔහු ව්‍යවහාර කරන භාෂාවයි.සිය සිතුවිලි සංකේතවත් කොට ලිඛිතව හා වාචිකව ප‍්‍රකාශ කිරිමටත් ,අන්‍යයන් සමඟ සිය අදහස් හුවමාරු කර ගැනීමටත් මිනිසා තුළ ඇති හැකියාව මිනිස් පරිමාණයේදී ඔහු ලබා ඇති විශිෂ්ට දායාදයකි.එකී දායාදය මිනිසා විසින්ම ගොඩ නගාගෙන ඇති භාෂාව වශයෙන් පෙන්වාදිය හැකි ය.

            මිනිසාගේ විශිෂ්ට නිර්මාණයක් වු භාෂාව මගින්  දීර්ඝ කාලයක්  තිස්සේ සමාජයේ ආරක්ෂා කරගෙන තිබු සංස්කෘතික දායාදයන් පවරා ගැනීමටත්  ඊට නවාංග එක් කරමින් දියුණුව කරා පිය නැගීමටත්  මිනිසා ට හැකි විය.මිනිසා හැර අන් සත්ත්වයින් අතරද අදහස් හුවමාරු කර ගැනීමේ විවිධ උපක‍්‍රම ඇතත්  ඒවා ඔවුන්ගේ මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම ට පමණක් සීමා වු ප‍්‍රාථමික මට්ටමක පවතී.

            එමෙන්ම එම උපක‍්‍රමවල ට භාෂාව යැයි ද කිව නොහැකි ය. නමුත් මිනිසා විසින් විධිමත් අයුරින් සන්නිවේදන ක‍්‍රියාවලිය සඳහා වාචිකව මෙන්ම ලිඛිතව ද සන්නිවේදනය සඳහා යොදා ගන්නා මාධ්‍ය භාෂාව යැයි කිව හැකිය.අප සංස්කෘතියෙහි ඉතා වැදගත් අංගයක් වන සිංහල භාෂාව පිළිබඳ ව අධ්‍යයනය කිරීම තුළින් එහි ඇති විවිධතා හඳුනා ගත හැකි ය.ඒ අනුව අනුරාධපුර ප‍්‍රදේශයේ විවිධ අවස්ථාවන්වල භාවිතා කරනු ලබන භාෂා රටාවන් හි විවිධත්වය මේ තුළින් විශද වේ.


විවාහය හා මල්වර වීම සම්බන්ධ වචන

 විවාහයක් සිදු කිරීම ට ප‍්‍රථමයෙන් නැකත් බැලීම සිදු කරයි. "නැකත් බැලීම" පහත ආකාරයෙන් කියා සිටී.
  • පොරොන්දම් ගලපනවා.
  • හඳහන් ගලපනවා.
  • එකට කැපෙනවා.

 විවාහය සිදු කිරීම මේ ආකාරයෙන් පෙන්නුම් කරයි.
                
  • කසාද බඳිනවා
  • වෙඩිමක් ගන්නවා.
  • වෙඩින් එකක් ගන්නවා.
  • කැන්දන් යනවා.
  • මගුලක් ගන්නවා.
  • දීග යනවා.

               
තරුණයෙක් හා තරුණියක් හොර රහසේ පැන යාම
                
  • ජම්පින් ගොයින්.
  • හඳපානේ යනවා.

මධුසමය ගත කරන්න යාම පැණි හඳට යනවා යයි කියනු ලැබේ.
               
විවාහයේ දෙවෙනි දවස මේ ආකාරයෙන් කියනු ලැබේ.
             

  • කොල්ලගේ ගෙදර මගුල.
  • දෙවෙනි ගමන.
  • කන්‍යාභාවය පිළිබඳ ව සොයා බැලීම සඳහා පහත වචන යොදා ගනී.
  • ජපන් කොඩිය බලනවා.
  • පිරිසිදුකම බලනවා.
  • පවිත‍්‍රතාවය බලනවා.
මල්වර වීම පහත වචන මෙ මගින් ධ්වනිත කරවයි.
             

  • ජම්බු ගහෙන් වැටිලා.
  • ලොකු ළමයෙක් වෙලා.
  • අලූත් නැවක් ගොඩබැහැලා.
  • බිග් ගර්ල් කෙනෙක් වෙලා.
  • කෙල්ලෙක් දොරට වැඩලා.
  • ගෙට වෙලා.
               
තරුණියකට සෑදෙන මාසික ඔසප් වීම මෙලෙස හඳුන්වනු ලබයි.


  • මෙන්සස් හැදිලා.
  • ඩෙට් වෙලා.
  • මාසික වර පරීක්ෂණය පටන් අරන්.

                                                                                                                                                                  
                  අධ්‍යාපන අවස්ථාවන් හි යොදාගනු ලබන වචන

               
පාසලේ විදුහල්පති ලොකු සර්, පිනා, වැනි වචනවලින් හඳුන්වාදෙයි.
             
        
ගුරුවරු මෙසේ හඳුන්වයි.
             

  • ගුරා.
  •  සර්.
  •  මිස්.
  •  ටීචර්.               

යාළුවන් ව මෙසේ හඳුන්වනු ලබයි.
             

  • ෆ්‍රෙඩා.
  • බොක්ක.
  • බුදු බොක්ක.
  • සිරා බොක්ක.
  • මචං.
  • හලෝ.
  • අඩෝ.               

පාසලේ දී තම මිතුරෙකුගේ පොතකින් හොරෙන් බැලීම මෙසේ දක්වයි.
             

  •  කෝප්ප ගහනවා.
  •  කොපි කරනවා.               

පාසලේ දි හෝ උපකාරක පන්තිවල දී බොරු කියනවට මේ ලෙස අර්ථ සපයයි.
            

  • කෙබ්බ ගහනවා.
  •  නයා අරිනවා.
  •  බොස කෙලිනවා.
  •  බේගල් ඇදබනවා.               

යහළුවන් කණ්ඩායමක් සිටින ස්ථානයක් මෙලෙස හඳුන්වනු ලබයි.
             

  •  සෙට් එක.
  •  සෙටාර් එක.
  •  ගැන්සිය.
  •  ගැන් එක.               

ගැහැණු ළමුන් හැඳින්වීම ට පාසලේ දී මෙවැනි යෙදුම් යොදාගැනී.
             

  •  කෑල්ල.
  •  කෝස් එක.
  •  සුන්දරී.
  •  කෙල්ල.               

පිරිමි ළමුන් හැඳින්වීමට මේ ලෙස යොදාගනී.
             

  •  හැන්ඩියා.
  •  කොල්ලා.
               

ගැහැණු ළමයෙක් හා පිරිමි ළමයෙක් අතර ආදර සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම මේ ලෙස හඳුන්වයි.
             

  • කෝස් එකක් සෙට් කරගන්නවා.
  • කෑල්ලක් ලයින් කරනවා.
  • සිරා ලවක් ගහනවා.               

පේ‍්‍රම සම්බන්දත හැරදමා යාම මේ ලෙස හඳුන්වයි.
             

  •  බූට් එකක් දීලා.
  •  දාල ගිහින්.
  •  පෙම අත්හැරලා.
               

පාසලේ දී ලස්සන ගුරුවරියක් හැඳින්වීම ට මේ වැනි වචන යොදාගනී.
     

  • සාරි ගප්පි.
  • රෝස මලක්.
  • අලූත් මලක්.               

පාසලේ දක්ෂ ම සිසුන් හැඳින්වීම ට මේ වැනි වචන යොදාගනී.
             

  • පඬියා.
  • මහෝෂධයා.
  • මීටරේ.
  • වැඞ්ඩා.

                  
වෘත්තියමය අවස්ථාවන් හි යොදාගනු ලබන වචන

             

  • වී වගා කරන කුඹුර වෙල යනුවෙන් හඳුන්වයි.
  • පාසල් ගුරුවරු ඉස්කෝලේ මහත්තයා, සර්, යන වචනවලින් හඳුන්වනු ලබයි.
  • මේසන් වැඩ කරන පුද්ගලයා මේසන් බාස්, බාස් උන්නැහේ යන යෙදුම්වලින් හඳුන්වනු ලබයි.
  • වෛද්‍යවරයා දොස්තර මහත්තයා, ඩොකා වැනි යෙදුම්වලින් හඳුන්වයි.
  • හෙදිය ව නර්ස්, මිසී යන වචනවලින් හඳුන්වයි.

               

පොලිස් සේවකයන් මෙලෙස හඳුන්වයි.
             

  •  පොලිස්කාරයා.
  •  රාළහාමි.
  •  ට‍්‍රැෆික් මහත්තයා.               

මත්පැන් විකුණන ස්ථානය මේ ලෙස හඳුන්වනු ලබයි.
             

  •  බාර් එක.
  •  තැබෑරුම.
  •  පොට් එක.               

කෘෂි කර්මාන්තයේ දී යොදාගනු ලබන විවිධ උපකරණ මේ ලෙස හඳුන්වනු ලබයි.
             

  • භූතයා.
  • සුනාමිය.
  • ට‍්‍රැක්ටරේ.               

ගමේ සිටින මැරයන් ව මේ ලෙස හඳුන්වනු ලබයි.
             

  • චන්ඩියා.
  • මරු සිරා.
  • ලොකු අයියා.
               

මැරයන් විසින් සිදු කරන මිනීමැරීම් මේ ලෙස පෙන්වා දෙයි.
             

  • බාවනවා.
  • බාවලා දානවා.
  • ස්වර්ගේ පෙන්නනවා.
  • බීපු කිරි මතක් කරලා දෙනවා.
               

  • ගම ට බනිස් හා පාන් විකුණන තැනැත්තා චුන් පාන් මාමා.මොහුට එම නම පටබැඳී ඇත්තේ ඔහු එන රථයෙහි ඇති හඬ පටය හේතුවෙනි.



ආහාරපාන ආශ‍්‍රිත ව යොදාගනු ලබන වචන


  •      පැණි වළලූ සඳහා උඳු වළලූ, උඳු වැල් යන නම් යොදා ගනී.
  •      බත් සමග ආහාර ගැනීමට පිසින එළවලූ  මාළු පිනි, ව්‍යාංජනහොද්ද යනුවෙන් හඳුන්වයි.
  •      තේ පානය කිරීම තේ බොනවා, කහට බොනවා වැනි නම්වලින් හඳුන්වයි.
  •    බඩ දරු අම්මලා සඳහා මිරිස් හා මුරුංගා මිශ‍්‍ර කර සකසනු ලබා හොද්ද තැම්බුම් හොද්ද ලෙස හඳුන්වයි.               

පොල් හැඳින්වීම ට මේ වැනි වචන යොදා ගනී.
             

  • කලටි පොල්.
  • කුරු පොල්.
  • හොඳ පොල්.
               

  • කොස් ඇට හා පොල් යොදා ගනිමින් සාදන මාළුව කළු පොල් මැල්ලූම යනුවෙන් හඳුන්වනු ලබයි.
               

ලංකාවේ ප‍්‍රධාන ආහාරය වන බත් වර්ග ද මේ ආකාරයෙන් පෙන්වා දෙයි.
             

  • දුන්තෙල් බත්.               
  • බිරියානි.           
  • මාළු බත්.
  • චිකන් බත්.
  • ෆ‍්‍රයිඞ් රයිස්.


තරුණයන් අතර ප‍්‍රචලිත වචන

               
ගැහැණු ළමුන් හැඳින්වීම ට මේ වැනි වචන යොදා ගනී.
             

  • ස්වීටි කෙල්ල.
  • කෑල්ල.
  • මැණික.
               

විසේකාර තරුණියක් හැඳින්වීම ට මේ වැනි වචන යොදාගනී.
             

  • මරු කඳ.
  • පත්තිනි අම්මා.
  • වටේ යන එකී.
  • බඩුව.
  • මරු ගල.
  • ලෑල්ල.

               

තරුණියක් දුෂණයට හෝ අපහරණයට ලක් කිරීම මේ ලෙස හඳුන්වනු ලබයි.
             

  • කෙලවනවා.
  • පිහාටු ගහනවා.
  • හමන්නනවා.
               

වැරදි ලිංගික ක‍්‍රියාවන් හි යෙදීම මේ නමින් හඳුන්වනු ලබයි.
             

  • වේසකමේ යනවා.
  • ආප්ප දානවා.
  • ගල් කපනවා.
  • ගල් බෝර දානවා.
  • කොටු පනිනවා.
  • දහ පදුරදවේ යනවා.
  • අහවල් එක කරනවා.
               

විශ්මය ජනක දෙයක් දුටුවහොත් මේ වැනි වදන් තරුනරන් කියනු ලබයි.
             

  • සුපිරි.
  • අම්මට හුඩු.
  • අම්මට සිරි.
  • පට්ට.
  • අදහගන්නත් බෑ.
  • අම්මට කෙලපිය.
               

  • සතුටුදායක දෙයක් සිදුවීමේ දී සැප කණේ ලෙස කියයි.
  • යාළුවන් ඇමතීම සඳහා මචං, බොක්ක, ෆිට් එක, වැනි යෙදුම් භාවිතා කරයි.               

තරුණයන් සතුටින් සිටින අවස්ථා මේ ලෙස හඳුන්වනු ලබයි.
             

  • ආතල් එකක් ගන්නවා.
  • අඩියක් ගහනවා.
  • සොමියක් ගන්නවා.

                 
එදිනෙදා ව්‍යවහාර කරනු ලබන වචන
             

  • කැපී පේන්න යාම පොරක් වෙන්න යනවා කියා හඳුන්වයි.
  • කිසියම් කාර්යයක් බොහොම අමාරුවෙන් කරගෙන යාම ගේම ගහනවා ලෙස හඳුන්වයි.
               

අනිවාර්යයෙන් ම කරන ක‍්‍රියාවක් කියා සිටීම සඳහා මේ වැනි වදන් යොදා ගනී.
            

  •  එකෙන්ම.
  •  සිරාවට.
  •  බොක්කෙන්ම.
             

  • අනවශ්‍ය කරදරයකට මුහුණ දෙන්නට සිදුවීම ඉල්ලන් කනවා, ඇදගෙන නානවා, වලේ වැටෙනවා ලෙස     හඳුන්වනු ලබයි.
  • යමෙකු රැවටීම කොලේ වහනවා, වලේ වට්ටනවා, කෙලවල යනවා ලෙස අර්ථ දක්වනු ලබයි.
  • අනුන්ගේ දේවල් සොයා බැලීමඕපාදුප සෙවීම අනුන්ගේ සීනි කිරනවා, ණයට කහිනවා ලෙස හඳුන්වයි.
               

ආඩම්බරකම පෙන්වීම මේ ලෙස හඳුන්වයි.
             

  •  ලොකුකම දානවා.
  •  ලයින් දෙනවා.
  •  පාට් එක දානවා.
  •  ගණන් උස්සනවා.               
  • නොහොඹිනා දෙයක් සිදු කිරීම මදන ගාය පෙන්නනවා, මජර වැඩ කරනවා, පජාත වැඩ කරනවා යනුවෙන් හඳුන්වනු ලබයි.               

කාළගුණය ආශ‍්‍රිත ව ගොඩනැගුණු වචන මේ ලෙස පෙන්වා දිය හැකි ය.
             

  •  හද්ද පිටිසර.
  •  කාස්ටකේ.
  •  පායනවා.
  •  රස්නේ.
  •  පෑවිල්ල.


ඥාතීත්වය හා හිතමිත‍්‍ර සම්බන්ධතා ආශ‍්‍රිත වචන
             

  •  කුඩා පිරිමි දරුවන් ඇටයා, කොළුගැටයා වැනි නම්වලින් හඳුන්වනු ලබයි.
  •  තාරුණ්‍යයට පා තබන ගැහැණු දරුවන් ළමිස්සි යනුවෙන් හඳුන්වයි.
  •  අම්මගේ නංගි හැඳින්වීමට පුංචි, පුංචි අම්මා, චූටි අම්මා වැනි යෙදුම් යොදා ගනී.               

අම්මගේ අම්ම හැඳින්වීම ට පහත යෙදුම් යොදාගැනී.
             

  • ආච්චි.
  • කිරි අම්මා.
  • ආත්තම්මා.
  • අම්මම්මා.
  • ආච්චි අම්මා.
  • ලොකු අම්මා.
               

  • අම්මගේ තාත්තා හැඳින්වීම සඳහා සීයා, සීයා තාත්තා, කිරි අත්තා වැනි යෙදුම් භාවිතා කරයි.              

අම්මගේ අයියා හා පියාගේ අක්කා මේ ආකාරයෙන් හඳුන්වනු ලබයි.
             

  • මාමා.                                     
  • මාමි.
  • නැන්දම්මා.
               

මව හා පියා මෙ ලෙස හඳුන්වයි.
             

  • අම්මා.
  • අම්මි.
  • මමී.
  • අප්පච්චි.
  • තාත්තා.
  • තාත්ති.
               

බිරිඳ ව මේ වැනි නම්වලින් හඳුන්වනු ලබයි.
             

  •  ගෑනි.
  •  වයිෆරේ.
  •  ඒයි.
               

සැමියා ව මේ වැනි නම්වලින් හඳුන්වනු ලබයි.
             

  •  හස්බන්ඩ්.
  •  හබී.
  •  ඒයි.


                  ඇඳුම් පැළඳුම් හා ගෘහ භාණ්ඩ ආශ‍්‍රිත වචන


  • ආහාර පිසීම සඳහා යොදාගනු ලබන මැටි කෝප්පය අඩි වළඳ යනුවෙන් හඳුන්වයි.
  • ආහාර පිසීම සඳහා යොදාගනු ලබන නෑඹිලිය ගරණ වළඳ යනුවෙන් හඳුන්වයි.
  • බත් පිසීම සඳහා යොදාගනු ලබන මුට්ටිය බත් වළඳ යනුවෙන් හඳුන්වයි.
  • නෑමෙන් පසු මුණ පිසදැමීමට හෝ අංග පිසදැමීම ට යොදාගනු ලබන තුවාය ලේන්සුව යනුවෙන් හඳුන්වයි.
  • වතුර පුරවනු ලබන බූලිය කෑන් එක යනුවෙන් හඳුන්වනු ලබයි.
  • පාසල් ළමුන් බෝට්ටුටුවක් මෙන් දිගට දාපු සපත්තු බෝට්දාපු සපත්තු ලෙස නම් කරයි.
  • ජාතික රූපවාහිනියෙන් විකාශනය වූ ‘සුජාත දියණිය’ ටෙලි නාට්‍යයේ නිලියන් ගැසූ කොන්ඩ කට්ට චංගුමී කොන්ඩ කට්ට යනුවෙන් නම් තබා ඇත.
  • සිරස ටෙලි නාට්‍යයේ විකාශය වූ‘ප‍්‍රවීනා’ ටෙලි නාට්‍යයේ නිළියක වූ කෝමලී’ පැළඳි ලොකු මුදුව කෝමලී මුද්ද නම් විය.               

                  කුඩා දරුවන් ආශ‍්‍රිත වචන
             


  • කුඩා දරුවන්ගේ ආහාර සඳහා අබුං යයි පවසයි.
  • කුඩා දරුවන් වතුර නම් කරනු ලබන්නේ ජෝ, වතුල, ජබුං, බෝ යනුවෙන් ය.
  • කුඩා දරුවන් මාළුවන් නම් කරනු ලබන්නේ කයිය, කූරියං යනුවෙනි.
  • කුඩා දරුවන් තමන් අඳින යට කලිසම  නම් කරනු ලබන්නේ කයි එක, කාසම යනුවෙනි.
  • කුඩා දරුවන් කුරුල්ලන් නම් කරනු ලබන්නේ කුල්ලා, කූලූ පැටියා යනුවෙනි.
  • කුඩා දරුවන් තම වැටී තුවාල වුවහොත් එය පවසන්නේ තූල වුණා, ඩොන් ගෑවා යනුවෙනි.
  • කුඩා දරුවන් තමා නින්දට යාම පවසන්නේ දොයියනවා, බයියනවා ආදී වශයෙනි.
  • කුඩා දරුවන් හඳ හඳුන්වනු ලබන්නේ අම්බිලි මාමා යනුවෙනි.
  • කුඩා දරුවන් තමා බය පුද්ගලයන් හඳුන්වන්නේ ගෝනි බිල්ලා, යකා, කළු බණ්ඩා, ආදී වශයෙනි.
  • කුඩා දරුවන් වාහන හඳුන්වනු ලබන්නේ බූං එක, කාල් එක ආදී වශයෙනි.


                  ආගම් ආශ‍්‍රිත වචන හා උපත හා මරණය ආශ‍්‍රිත වචන
               

පන්සල් ගොස් වැඳීම හඳුන්වන්නේ
             

  •  යදිනවා.
  •  පුජා කරනවා.
  •  පුදනවා.
               

හාමුදුරුවන්ට මේ වැනි නම්වලින් හඳුන්වනු ලබයි.
             

  • ස්වාමීන්වහන්සේ .
  •  සාධු.               


  • පිරිතක් තිබෙනවා නම් ඇතැම් පිරිස් එය සංඝ බජව්ව යනුවෙන් හඳුන්වනු ලබයි.
  • පන්සලේ චෛත්‍යය වෙහෙර වහන්සේ යනුවෙන් හඳුන්වනු ලබයි.
  • බුදුන් වැඩ සිටින පිළිම තබා ඇති ස්ථානය විහාර ගෙය, පිළිම ගෙය යනුවෙන් හඳුන්වනු ලබයි.
  • මළ ගෙදරක දී බූරු ගැසීම දෙගොඩතලා ගහනවා, බූරුවා ගහනවා යනුවෙන් හඳුන්වයි.
  • මළගෙදරක දී ඇහැරන් ඉඳීම නිදි මරනවා යනුවෙන් හඳුන්වයි.
               
දරුවෙක් ලැබෙන්න සිටිනවා හඳුන්වන්නේ මෙ ලෙසිනි.
             

  • බඩ වෙලා.
  • බබෙක් හම්බවෙන්න.
  • අම්මෙක් වෙන්න යනවා.
                
  • කුඩා බිළිදෙකු උපත ලැබූ පසු අම්මගේ කපාපු පළුව, ඇරපු අතක් නෑ තාත්තයි, පිංවන්ත කොලූවා ලෙස හඳුන්වනු ලබයි.
  • දරුවන් ලැබෙන්න ඉන්න මවට උපදෙස් ලබාදීමට රජයෙන් පත් කරනු ලැබූ සෞඛ්‍ය නිලධාරිනිය මිඩ් වයිෆ්, මිඩ් වයිෆ් මිසී, වින්නඹු අම්මා යනුවෙන් හඳුන්වනු ලබයි.

ඉහත හඳුන්වන ආකාරයට අනුරපුර භාෂා භාවිතය කෙලෙස ද යන්න වටහා ගත හැකි ය.






Dula..




















හසරැල්ලේ ජනප්‍රියම ලිපි